Latest News

පොලිස් භාරයේ සිටි කාන්තාවක් හදිසියේ මියයයි

පොලිස් භාරයේ රඳවා සිටි කාන්තාවක් හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පෝරුපිටිය, වරල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව මොරවක පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි වරෙන්තුකාරියක් වනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අදාළ කාන්තාව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ ගොනුකර තිබු නඩුවකට අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබු බවයි.

කෙසේවෙතත් එම කාන්තාව ඊයේ (28) සවස වරෙන්තුවට අදාළව පොලීසිය වෙත ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසියේ රඳවා සිටි මොහොතේදී මෙලෙස අසනීප වී තිබෙනවා.

ඉන් අනතුරුව ඇයව ගිලන් රථයක් මඟින් මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජිවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) සිදුකිරීමට නියමිතයි.