කප්පම් ලබා ගැනීමට කාන්තාවක් පැහැරගත් සිව්දෙනෙක් අත්අඩංගුවට
කප්පම් ලබාගැනීම සඳහා කාන්තාවක් පැහැරගෙන ගිය සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වවුනියාව , කිලිනොච්චිය , මුලතිව් ප්‍රදේශයේ පදිංචි 26ත් 49 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව්දෙනෙක්.
ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, පසුගිය (11) වනදා එම කාන්තාව පැහැරගෙන ගොස් වවුනියාව ආච්චිපුරම් හි පාළු නිවසක සිරකර ඇති බව පොලිසිය සඳහන් කළා.
පසුව අදාළ පුද්ගලයින් එම කාන්තාවගේ දියණියට දුරකථන ඇමතුම් ලබාදී රුපියල් ලක්ෂ පහක කප්පම් මුදල් ඉල්ලා තිබෙනවා.
පොලිස් විමර්ශන මගින් අනාවරණයවී ඇත්තේ,පැහැරගත් කාන්තාව විදේශ රටවල්වල සේවය සඳහා පිරිස් යවන කාන්තාවක් බවත් ඇය සැකකරුවන් සමග තිබූ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවත් ය.
කොළඹ ප්‍රදේශයේ සිට නැවත නිවසට පැමිණෙමින් සිටියදී අදාළ කාන්තාව පැහැරගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ දියණිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, “මුදලින් ලක්ෂ පහක් ගෙවා මව ගෙදර ගෙනියන ලෙසත් මුදල් නොදෙන්නේනම් අම්මාගේ මිනිය නිවසට එවන” බවයි.
පැහැරගත් කාන්තාවගේ දියණිය දුරකථන ඇමතුම ලැබූ සැණින් පූවරසන්කුලම පොලිසිය සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිස් උපාය ධූතයින් යොදවා සැකකරුවන් හට මුදල් ලබාදෙන මුවාවෙන් මෙම වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කළා.
එහිදී පොලිසිය සඳහන් කලේ, පාලු නිවසක රඳවා සිටි කාන්තාව නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවයි.
අදාළ කාන්තාව පැහැරගැනීම සඳහා යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර එම ත්‍රීරෝද රථ සහ එහි රියදුරන් දෙදෙනකු සොයා පූවරසන්කුලම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.