Latest News

යොහානි යළි දිවයිනට – ගුවන්තොටුපොළේ දී උණුසුම් පිළිගැනීම්

“මැණිකේ මගේ හිතේ” ප්‍රති නිර්මාණ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ආදරයට පාත්‍රවූ යොහානි ද සිල්වා සිය ඉන්දීය සංචාරය නිමාකොට දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක් හිමි වු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා සිටියේ, තමාට ඉදිරි බලාපොරොත්තු රැසක් ඇති බවයි.

ප්‍රශ්නය – ඔබගේ ඉදිරි බලාපොරොත්තුව කුමක් ද?

“ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ කටයුතු කරගෙන යනවා. ඇල්බම් එක මෙහෙ කරන්නේ. සිංදු 12 ම සිංහලවලින් කරලා තියෙන්නේ. ඒකේ ගොඩක් කටයුතු ඉවරයි දැන් වෙනකොට. ඒ වුණාට තව ටිකක් තියෙනවා ඒවා ලංකාවේ ඇතුළේම කරනවා.”

ප්‍රශ්නය – ඔබේ ජනප්‍රියත්වය හරහා දේශපාලනයට එනව ද?

“අනිවාර්යෙන් ම නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති.”

ප්‍රශ්නය – මේ ගමනේ දී බාධකවලට කොහොම ද මුහුණ දුන්නේ ?

“බාධක හැම ක්ෂේත්‍රයක ම තියෙනවා. අපේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි. බාධකවලින් කොහොම ද ඉදිරියට යන්නේ කියන එක හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕනේ.”

මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණා.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම වූ අතර ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ද පසුගිය දා ඇය සහභාගිවි තිබුණා.

ඉන්දීය රූපවාහිනි නාලිකාවක යොහානි සිය දක්ෂතා පෙන්වූ පළමු අවස්ථාව මෙයයි.

යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.