Latest News

යොහානිට රාජ්‍ය සම්මානයක්

“මැණිකේ මගේ හිතේ” ප්‍රතිනිර්මාණ ගීතය ගායනා කරමින් ලොවපුරා ජනප්‍රිය වී සිටින නව පරපුරේ ගායිකාවක් වන යෝහානි ද සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටිනවා.

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකා නාමයට කීර්තියක් ලබා දීමට කලාකාරිණියක් ලෙස යෝහානි කටයුතු කළ හෙයින් ඇයට රජයේ සුභාශිංසන පිරිනමන බවද
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ දී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ අතර යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදීත් හයිද්‍රාබාද් නගරයේදීත් පැවැත්වූ පළමු හා දෙවන ප්‍රසංග වලට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වනවා.

මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන ” ලුනු මියුසික් ” සංගීත කණ්ඩයම විසින් යොහානිට සංගීතය ලබා දෙමින් වේදිකාවේ සහාය ලබා දී ඇති තිබුණා.

ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.

ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වුන අතර තවත් සම්මුඛ සාකච්ඡා කිහිපයක් සඳහා එක්වෙමින් ඉන්දීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කිරීමද සිදු කරනු ලැබුවා.

“මැණිකේ මගේ හිතේ” ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොහානිහට ඉන්දීය රසිකයින් උන්මාදයෙන් බැඳී ඇති හෙයින් ඇයට ඉන්දීය සංගීත සංදර්ශන දෙකක් සඳහා ඇරයුම් ලැබුණා.

මෙහිදී සංගීත සංදර්ශනය ට සහභාගිවීමට පෙරම යොහානි ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමිවු බව ද සඳහන්.

යොහානිව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන්තොටුපොළ වෙත බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ සිටි බව ද වාර්තා වුණා.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ලෝක ජනප්‍රියම YOU TUBE ගීත දර්ශකයේ 5 වන ස්ථානය ද ලබා ගත්තා.

කෙසේවෙතත් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් පවත්වන ප්‍රථම ශ්‍රී ලාංකික ගායිකාව ලෙස ඇය ඉතිහාසගතවී හමාරයි.