යොහානිට පාර්ලිමේන්තුවෙන් උපහාර උළෙලක්
“මැණිකේ මගේ හිතේ” ප්රතිනිර්මාණ ගීතයෙන් ලෝකය පුරා ඉහළ ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සුදානම් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවා.
අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්.
මේ අතර මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද යොහානි ද සිල්වා කැඳවා ගෙන ඒම සිදුවේ.
මෙහිදී කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතයි.
ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදී ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මෙහිදී කතානායකවරයා උත්සව සභාව අමතමින් යොහානිද සිල්වා ගායන ශිල්පිනියට සුභාශිංසන එක් කිරීම සිදු කෙරේ.
පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදුකරනු ලබනවා.
ස්තූති කතාව පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය විසින්.
ගායන ශිල්පිනියට අගමැතිවරයා අතින් උපහාර තිළිණය ප්රදානය කෙරෙන්නේ ඉන් අනතුරුවයි.
මේ අතර යොහානි ද සිල්වා මෙනවිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනමනු ලබනවා.
යොහානි ද සිල්වා විසින් ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගොස් ඉහළ තැනකට ඔසවා තැබීම අගය කිරීම සඳහා මෙම උපහාර උත්සවය සංවිධානය කරන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය වැඩිදුරටත් පැවසුවා.