Latest News

සල්මාන්ට සිංහල ඉගැන්වූ යොහානිට විදුරගෙන් ලොකු තෑග්ගක්

ලොව පුරා ජනාදරයට පත්ව සිටින යොහානිද සිල්වා නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව ජාතික උරුම,ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

සම්මානයකට එහා ගිය දෙයක් ඇයට ලබාදීමට බලාපොරොත්තු වන බවත් තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් පැවසු රාජ්‍ය ඇමැතිවරයා එම තෑග්ග කුමක්දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද සඳහන් කළා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයමින් ඇය කළ සේවය තමා ඉහළින් අගය කරන අතර යොහානිද සිල්වා ගායන ශිල්පිනියට රාජ්‍ය සම්මානයක් ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

මේ අතර “මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ඉන්දියානු හදවත් දිනූ යොහානි ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස පසුගියදා සහභාගී වුණා.

ඉන්දීය රූපවාහිනි නාලිකාවක යොහානි සිය දක්ෂතා පෙන්වූ පළමු අවස්ථාව මෙයයි.

අන්තර්ජාතිකව පවා අතිශය ජනප්‍රිය බිග් බොස් වැඩසටහන් මාලාවේ 15 වැනි අදියර මේ දිනවල ඉන්දියාවේ රූගත කෙරෙනවා.

වැඩසටහන මෙහෙයවන්නේ සුපිරි බොලිවුඩ් තරුවක් වන සල්මන් ඛාන් විසින්.

එහි සති අන්තයේ පැවැත්වෙන ‘නවරාත්‍රි විශේෂ’ වැඩසටහන ඊයේ විකාශය වූ අතර ඊට විශේෂ ආරාධිත ශිල්පිනියක් ලෙස යොහානි එක්වුණා.

“මේ ඇරයුම ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගායිකාවක් වන යොහානි ට.”

සල්මන් ඛාන් – “මම පසුගිය දිනවන සමාජ මාධ්‍යවල හිටියා. හැමතැනම මේ ගීතයයි තියෙන්නේ.”

මෙහිදී යොහානි සමග සල්මාන් ඛාන් “මැණිකේ” ගීතය ගායනා කර අතර පසුව ඇය, සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘ප්යාර් කියා තෝ ඩර්නා කියා’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්ද ගායනා කරනු ලැබුවා.