දිරිය දිනූ කතුන්

අතේ සල්ලි නැතුව බස්වල හොරෙන් ගියපු මං අද මගේම කාර් එකක යනවා ඉතින් මට සතුටු නැද්ද?- යුරේනි නොෂිකා

දැනට හරියටම වසර දහඅටකට කලින්, ඒ කියන්නේ 2006 වසරේ ටීවී දෙරණ නාලිකාවෙන් ‘මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන්’ (Models of the New Generation) කියලා නිරූපණ තරඟයක් සංවිධානය කළා. එදා ඒ නිරූපණ තරඟය ජයග්‍රහණය කරන්න සමත්වුණු තරුණියටම ඒ වසරේ දකුණු අප්‍රිකාවේ තිබූ ‘ටුවරිසම් වර්ල්ඩ්’ (Tourism World) ජාත්‍යන්තර තරඟය නියෝජනය කරන්නත් අවස්ථාව ලැබුණා. එතැනින් විවෘත වුණු මාවතේ ඇවිත් ඇය පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් දිදුලන තාරකාවක් බවට පත්වුණා. 2023 වසරේ දෙරණ ලක්ස් ෆිල්ම් අවොර්ඩ් එකේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවෙත් ඇයම තමයි. රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිනියක් විදියටත් අද වෙනකොට සාර්ථක ගමනක් ආපු මේ හැඩකාරිය තමයි යුරේනි නොෂිකා. ඉතින් අලුත් වුණු ‘ධරණී’ පුවත්පතේ මුල්පිටුව ඇගේ රුවෙන් සරසන ගමන් ඇගේ කතාව ධරණීට කියන්නත් අපි යුරේනිට ආරාධනා කළා.

“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”

අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල හිටියනේ රණ්ඩුවට බර ගෑනු ළමයි. එහෙම අයට අපි කිව්වේ රණ්ඩු කෙකි කියලා. ඒ කාලේ යුරේනිත් හොඳ රණ්ඩු කෙක්කක්ලු. 

“මට ඉස්කෝලේ කාලයේ පුදුම විදියට තරහා යන කෙනෙක්. මං ඒකට කිසිම හේතුවක් දන්නෙත් නෑ. ඒ වගේම තමා පුදුම විසයක් තිබුණේ. හරි දඟයි. රණ්ඩු කෙක්කක්. ඇත්තම කිව්වොත් බදාදාට මට විතරක් පැයක විතර වෙනම මනෝ උපදේශනයක් දෙනවා. එහෙමයි කියලා මං අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තේ නෑ. හොඳට ඉගෙනගත්තා. වාණිජ අංශයෙන් උසස්පෙල කළේ. විභාගය හොඳට සමත්වුණත් කැම්පස් යන්න නම් බැරිවුණා.”

යුරේනි කියන්නේ පවුලේ එකම දරුවා. හැබැයි යුරේනි පුංචිම කාලේ ඇයගේ අම්මයි තාත්තයි දෙන්නම ඇයව දාලා ගිහින්. ඒ කියන්නේ ඔවුන් මියගිහින්. ඊටපස්සේ ඇයව බලාගෙන තියෙන්නේ ඇගේ ආච්චි. ඒ කියන්නේ යුරේනිගේ අම්මගේ අම්මා. යුරේනි ඒ හැඟීම වචන කළේ මේ විදියට.

“අපි හිටියේ බොරලැස්ගමුවේ. ඒ කාලේ අම්මයි තාත්තයි නැතුව මට ජීවත්වෙන එක ලේසිවුණේ නෑ. ගොඩාක් දුෂ්කරතා විඳින්න වුණා. එච්චර පොඩි වයසකදි ඒ දෙන්නගේ අහිමිවුණු එක මට දැනුණේ හරියට අහසට ඉරයි හඳයි අහිමිවුණා වගේ. ඒත් මං හිතනවා මං දෙමව්පිය රැකවරණය මැද හැදුනා නම් මේ තරම් ශක්තිමත් නොවෙන්න තිබුණා. හරි පුංචි දේවල්වලටත් කඩන් වැටෙන කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. දැන් මං හැමඅතින්ම ශක්තිමත් කෙනෙක්. ඒ වුණත් අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස ලැබෙන්න ඕන තැන්වල මං අසරණ වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි.”

යුරේනිට දෙමව්පියන් අහිමිවීමත් එක්ක ජීවිතේ හුඟාක් දුෂ්කරතාවලට මුහුණදෙන්න වෙලා. ඇයගේ ආචිචිගේ රස්සාව වෙලා තියෙන්නේ ඇඳුම් මහපු එකලු. ඒක දැනගත්ත ඇගේ පාසලෙන් යුරේනිට පාසල් ගමන අවසන් වෙනකල් පාසල් නේවාසිකාගාරයේ නැවතිලා ඉන්න අවස්ථාවක් හදලා දීලා. යුරේනි අවුරුදු 12ක් එකදිගට ඉඳලා තියෙන්නේ ඒ පාසල් නේවාසිකාගාරයේ.

“මං අවුරුද්දට දෙපාරයි ගෙදර ගියේ. ඒ ගියෙත් ඉස්කෝලෙන් දෙන අගෝස්තු නිවාඩුවටයි දෙසැම්බර් නිවාඩුවටයි. මට මතකයි ඒ කාලේ මට කිසිම දෙයක් නෑ. අඩුතරමේ අඳින්න කියලා අලුත් ඇඳුමක්වත් නෑ. මගේ ආච්චි අලුත් අවුරුද්දටයි නත්තලටයි මහලා දුන්නු ඇඳුම් දෙක ඇරුනම මං පාවිච්චි කලේ වෙන අය කාලයක් ඇඳපු ඇඳුම්. පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 12ක් විතර. මට එදා යාළුවෝ හත්දෙනෙක් හිටියා. ඒ අය තමයි මගේ අඩුපාඩු හැමදේම හොයලා බැලුවේ. ඉතින් මං හිතාගත්තා හොඳට ඉගෙනගෙන කවදාහරි හොඳ තැනකට එනවා කියලා. මං තනියම ජීවත්වෙන්න ගන්නකොට මට අවුරුදු 19යි. තනියෙන් ඉන්න එක ලේසිවුණේ නෑ. හැමදේටම සල්ලි ඕන වුණා. පස්සේ මං දුරකතන සමාගමක රැකියාවට ගියා. අවුරුදු කීපයක් එතැන වැඩ කළා. ටික කාලයක් යද්දි ගුවන් සේවයට ගන්නවා කියලා ආරංචියක් ඇවිත් ඒකට ඉල්ලුම් කරලා බලන්න හිතුවා. ඒ ඉල්ලුම් කරලා ටික දවසක් ඉන්නකොට තමයි නිරූපණ ක්ෂේත්‍රය පැත්තට හිත ගියේ. එහෙම වැඩ ටිකක් කරගෙන ඉන්නකොට මට දැනගන්න ලැබුණා දෙරණ නාලිකාවෙන් ‘මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන්’ කියලා නිරූපණ තරඟයක් පටන්ගන්න යනවා කියලා. ඒ 2006 අවුරුද්දේ. පස්සේ ඒකට ඉදිරිපත් වුණා. මං තමයි එදා ඒකෙන් දිනුවේ. ඒත් එක්ක මට දෙරණේ ‘මුම්බායි එක්ස්ප්‍රස්’ කියලා මියුසික් ප්‍රෝගෑම් එකක් කරන්න අවස්ථාවක් ලැබුණා.”

කොච්චර දුෂ්කරතා මැද්දෙන් වුණත් අද වෙනකොට යුරේනි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් ඇවිත් ඉන්න තරුණියක්. යුරේනි කියපු විදියට ඇයගේ ඒ ගමනට අත්තිවාරම වැටිලා තියෙන්නෙත් ටීවී දෙරණෙන්.

“මං නිකමටවත් කලාවට එන්න හිතන් හිටපු කෙනෙක් නෙවෙයි. ඒත් දෛවයේ එහෙම ලියවිලා තිබුණා. මං ටීවී දෙරණ නාලිකාවේ මුම්බායි එක්ස්ප්‍රස් ප්‍රෝගෑම් එක කරන කාලෙයි රඟපාන්න අවස්ථාව ලැබුණේ. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යය. පස්සේ මට චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. මගේ රංගන ජීවිතේට කිඳුරංගනා, කූඹියෝ, නයිට් රයිඩර්ස් වගේ නිර්මාණ පැහැදිලි ආලෝකයක් වුණා.”

හැබැයි මෑත කාලයේදී යුරේනිව අපට රංගන ශිල්පිනියක් විදියට වැඩිය දකින්න ලැබුණේ නම් නෑ. නිවේදිකාවක් විදිහටයි යුරේනිව ගොඩාක් අවස්ථාවල අපි දැක්කේ. ඒ නිසාම වත්මන් කලා කටයුතු ගැනත් යුරේනිගෙන් අපි අහලා බැලුවේ.

“අලුත් චිත්‍රපටයක වැඩ ඉවර කළා. ඒක ලබන අවුරුද්දේ තිරගත වෙයි. කොටස් 50ක ටෙලිනාට්‍යයකුත් කළා. ඒක නම් හුඟාක් වෙලාවට මේ අවුරුද්ද අවසාන කාලයේ වගේ විකාශනය වෙයි. ඒ එක්කම අලුත් සිංදුවකුත් කළා. ඒකත් මගේ අර කලින් සිංදු වෙන සාරිපොටේ, චුයින්ගම් වගේ කොල්ලෝ වගේ ඩාන්ස් කරන්න පුළුවන් සිංදුවක්. ඊට අමතරව ඉතින් නිවේදන කටයුතු, ඉවෙන්ට්ස් කරගෙන ඉන්නවා.”

යුරේනි කියන්නේ එක වෙලාවකට නිළියක්, තව වෙලාවකට ගායිකාවක්, තවත් වෙලාවකට නිවේදිකාවක්, ඔය අතරේ නිරූපණ ශිල්පිනියක් විදියටත් ඇය කටයුතු කරනවා. ඒ අපි යුරේනිව දකින එක එක කෝණ. හැබැයි අපිට ඕන වුණා යුරේනි, යුරේනිව දකින කෝණයත් දැනගන්න.

“මගේ කෝණයෙන් මට මාව පේන්නේ හරි සංවේදී, ඉක්මණට හිත උණුවෙන කෙනෙක් විදියට.”

යුරේනි එහෙම කියද්දි මට මතක් වුණේ 2023 වසරේ Derana Film Awards වේදිකාවේ ඇය ‘වසරේ හොඳම නිළිය’ සම්මානය අරගත්ත මොහොත. සතුටු කඳුළු අතරින්ම එදා යුරේනිගේ ඇස්වලින් දුකට වැටුණු කඳුළුත් අපි දැක්කා.

“මට මුලින්ම සම්මානයක් ලැබුණේ දෙරණ Music Video Awards වලදි. 2015 අවුරුද්දේ. ඒ මගේ සාරි පොටේ සිංදුව වෙනුවෙන් Best Dance Video of the Year සම්මානය. ඊට අවුරුදු තුනකට පස්සේ, ඒ කියන්නේ 2018 දී Derana Film Awards වලදි වසරේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුවා. ඊට අවුරුදු පහකට පස්සේ ගිය අවුරුද්දේ ඒ සම්මාන උළෙලෙදිම වසරේ හොඳම නිළිය විදියට සම්මාන ගත්තා. ඒ සම්මාන තුනම මගේ ජීවිතේ මට ලැබුණු ඉහළම සම්මාන තුනක්. ඒත් අනෙක් අයට වගේ සම්මාන අරන් ගෙදර ගියාම මගේ සතුට සමරන්න කවුරුත්ම හිටියේ නෑ. අනේ අම්මලා හිටියා නම් ඒ වෙලාවට එයාලගේ දුව ගැන කොච්චර සතුටුවෙයිද කියලා මට හිතෙනවා. මම කරන්නේ ඉතින් ඒ දුක යනකල්ම කොට්ටේ බදාගෙන අඬන එක. ඒත් දැන් මං තේරුම් අරගෙන ඉන්නේ ජීවිතේ අපි ආස හැමදේමත් අපිට ලැබෙන්නේ නැහැ කියලා. ඒ යථාර්ථය මං තේරුම් අරගෙන ඉන්නේ.”

හැබැයි ඉතින් නැව ගිලුණත් බෑන්ඩ් චූන් වගේ යුරේනිත් මොන ප්‍රශ්න ආවත් සතුටින් හිනාවෙලා ඉන්න කෙනෙක්. ඒ මැජික් එක හැමෝටම කරන්න බෑ. අන්න ඒ මැජික් එක ගැන යුරේනිගේ උත්තරය වුණේ මේක.

“මට දුක හිතෙන වෙලාවල් ඕනතරම් තියෙනවා. ඒත් මං ඒ මත්තේ එල්ලිලා ඉන්නේ නෑ. මං කරන්නේ දුක අස්සෙත් කොහොමින් හරි සතුටට කාරණයක් හොයාගන්න එක. මං කියන්නේ උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ නෑ. ඒ වෙලාවේ උත්තරයක් නැති වුණත් දවස් කීපයක් ගිහින් හරි ඒ ප්‍රශ්නවලට උත්තරයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නවලදි අඬන වැළපෙන එක නෙවෙයි කරන්න ඕන ඉවසීමෙන් ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න එක.”

කතාබහ අතරතුරේ යුරේනි හරි ලස්සන කතාවකුත් කිව්වා. ඒ ඕනෙම මනුස්සයෙකුගේ ජීවිතේ නරත කාල එන්නේ ඒ මනුස්සාව වට්ටන්න නෙවෙයි ජීවිතේට පාඩම් උගන්වන්න කියලා. ඒත් එක්ක යුරේනිට අද ඉන්න තැන ඉඳන් අතීතය දිහා හැරිලා බලද්දි හිතෙන්නේ මොනවද කියලා අපි අහලා බැලුවා.

“මගේ අතීතය දිහා බලද්දි මට අද පුදුම විදියට සතුටුවෙන්න පුළුවන්. එදා අඳින්න ඇඳුමක් නැතුව හිටපු මං අද බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා. අතේ සල්ලි නැතිකමට බස්වල හොරෙන් ගියපු මං අද මගේ කාර් එකක ගමන් බිමන් යනවා. හැම අතින්ම කොන් වෙලා හිටපු මං නිළියක් විදියට රටේම මිනිස්සුන්ගේ ආදරේ ලබනවා. ඉතින් මට සතුටු නැද්ද? අද වෙනකොට මං මගේ තනි හයියෙන් නැගිටලා කාටවත් අත නොපා කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙනවා. ඕන නම් මට පුළුවන් මගේ ජීවිත කතාව පොතකට වුණත් ගේන්න. මං දන්නවා එහෙම කළොත් ඒක කියවන ඕන කෙනෙක්ට මගේ ජීවිත කතාව ලොකු අභිප්‍රේරණයක් වෙයි. ඒ නිසා මගේ ලොකු ආසාවක් තියෙනවා මැරෙන්න කලින් ජීවිත කතාව කතාව පොතකට ගේන්න.”

තරුණයෙක් වුණත් තරුණියක් වුණත් අවුරුදු විසිපහ විසිහය වෙද්දි ඔලුවට එන ලොකුම බර විවාහය. ඒත් යුරේනි ඒ වයස පහුකරලත් අවුරුදු කීපයක් ගතවුණත් තාමත් විවාහයක් ගැන නම් හිතලවත් නැති පාටයි. ඉතින් කලවයසත් හරි එකේ විවාහයක් ගැන හිතන්නේ නැද්ද කියලයි ඊළඟට අපෙන් යුරේනිට ලැබුණු ප්‍රශ්නය.

“කලවයස කියන දේ හොයන්නේ අපේ රටේ විතරයි. මට වයස ප්‍රශ්නයක් නෑ. 50දී හරි මට හරියන කෙනාව ලැබුණොත් මං බඳියි. ඒත් බැරි වුණොත් මේ ඉන්න විදියටම ඉඳියි.”

අපේ ජීවිතවල අමතක නොවෙන සිදුවීම් ඕනතරම් තියෙනවා. සමහරක් සිදුවීම් සතුටුදායකයි. සමහරක් සිදුවීම් සංවේදියි. තව සිදුවීම් හාස්‍යය පැත්තට බරයි. ඒ කොහොම වුණත් මෙරට ප්‍රසිද්ධ කලාකාරිනියක් විදියට යුරේනිට ඇගේ ජීවිතේ අමතක නොවෙන මතකයකුත් මතක් කරන්න කියලා අපි කිව්වා.

“බාක්ෂා කියලා ඉන්දියාවේ හරි ප්‍රසිද්ධ ගායකයෙක් ඉන්නවා. එයා බොලිවුඩ් චිත්‍රපටවලට එහෙම සිංදු කියන හරිම ලස්සන හඬක් තියෙන කෙනෙක්. ඔහු පසුගියදා ‘බාක්ෂා ලයිව් ඉන් කොන්සර්ට්’ කියලා සිංගප්පූරුවේ ලොකු ප්‍රසංගයක් කළා. ලංකාවේ අපි කීපදෙනෙක්ටත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබුණා. එදා මමත් ඒ ජාත්‍යන්තර වේදිකාවේ සිංදු කිව්වා. ඒ අත්දැකීම මට අමතක වෙන්නේ නෑ. මාව රටේ හොඳම නිළිය කරපු දෙරණ සම්මාන රාත්‍රිය අමතක කරන්නත් බෑ.”

යුරේනිගේ පෙනුම ගැනත් විවිධ අය විවිධ කතා කියනවා. සමහරෙක්ට අනුව යුරේනිට තියෙන්නේ බොලිවුඩ් නිළියකට සමාන පෙනුමක්. තවත් අයට සරාගික පෙනුමක්. ඒ කොහොම වුණත් පෙනුම කියන දේ තරුණියකට කොයිතරම් වැදගත්ද වගේම යුරේනි පෙනුම රැකගන්න කරන දේවල් ගැනයි ඊළඟට අපි අහලා බැලුවේ.

“පෙනුම ගැන හිතනවා. ඒත් බාහිරට වඩා අභ්‍යන්තරව හිතන්නේ. කෑමබීම ගැන, ව්‍යායාම ගැන, නින්ද ගැන මං හුඟාක් ‍සැළකිලිමත්. නිළියක් වුණාට දවස ගානේ සැලුන් යන්නේ නෑ. මාසෙට සැරයක් ගිහිල්ලා සාමාන්‍ය කෙනෙක් සැලුන් ගිහින් කරන සාමාන්‍ය දේවල් ටික කරනවා. මං ගොඩාක් මුහුණට වද දෙන කෙනෙක් නෙවෙයි. මුහුණට අපි අඩුවෙන් දේවල් කරන තරමට මුහුණේ තරුණ පෙනුම රැකෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.”

කතාබහ අවසන් කරමින් ‘ධරණී’ කියවන සමස්ත කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් පණිවිඩයක් දෙන්න කියලත් අපි යුරේනිගෙන් පුංචි ඉල්ලීමක් කළා.

“අපේ රටේ හුඟාක් කාන්තාවෝ දන්නෑ එයාලා කොච්චර ශක්තිමත්ද කියලා. ඒකයි පොඩ්ඩක් ඇත්නම් කඩාගෙන වැටෙන්නේ. මට කියන්න තියෙන්නේ ඔබ සීයේ ඉ‍ඳන් බිංදුවට වැටෙන අවස්ථා ආවත් ආයෙත් එකේ ඉඳන් පටන්ගන්න. එහෙම පටන්ගත්තු දවසට ඔබට තේරෙයි ඔබ කොයිතරම් හයිය කොයිතරම් ශක්තිමත් ගැහැනියක්ද කියලා. ඒ ජාතියේ ගැහැනුන්ට කරන්න බැරි දෙයක් නෑ.”

රුවන් එස්.සෙනවිරත්න