නෝනලා 39ක් එක්ක දීග කෑ චානා
“මගේ පවුල තවත් ලොකු කරගන්න මං කැමතියි. මට වගකීම් ගොඩාක් දරන්න තියෙනවා. එහෙමයි කියලා කිසිම වෙලාවක මං බිරින්දෑවරුන්ගේත්, දරුවන්ගේත්, මුණුපුරු මිණිපිරියන්ගේත් ඕනෑ එපාකම් පැහැර හරින්නේ නෑ. කවදාවත්ම වගකීම්වලින් පැනලා ගිහිල්ලත් නෑ. ඇත්තටම මට හිතෙනවා මං හරි වාසනාවන්ත මනුස්සයෙක් කියලා.”
මේ මීට ටික කාලෙකට කලින් ‘සියෝනා චානා’ කියන පුද්ගලයා ලෝක ප්‍රසිද්ධ ‘රොයිටර්’ පුවත් සේවය සමඟ කළ සාකච්ඡාවකදි කියපු කතාවක්. ඔහු තමයි ලෝකයේ තියන විශාලතම පවුලේ ප්‍රධානියා විදියට සැලකෙන්නේ. පසුගිය දවසක මේ පුද්ගලයා මෙලොවින් සමුගත්තා. නමුත් ඔහුගේ කතාවටනම් එහෙම ලේසියෙන් මියැදෙන්න බෑ.
“මගේ ගෙදර එක් වේලකට සහල් කිලෝ 25ක් උයනවා. අල කිලෝ 40ක් වගේම හතු කිලෝ 5ක් උයනවා. ඇයි ඉතින් දෙසීයකට කිට්ටු පිරිසක් ඒ ගෙදර දැනට ඉන්නවනේ…”
චානාගේ කතාව ඇත්ත. ඔහුගේ ‘පර්පල් පැලස්’ නමින් හඳුන්වන මහල් නිවාසයේ එක්වේලක් උයන්න ලංකා මුදලින් රුපියල් 30,000ක් පමණ යන බවයි සඳහන් වෙන්නේ.
ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන චානා ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ. වයස අවුරුදු 79දී ඔහු මියයද්දි ඔහු විවාහ වී සිටි බිරින්ඳෑවරුන් ගණන 39ක්. තම පවුල විශාල කිරීමේ අරමුණෙන් ඔහු වරින් වර විවාහ සිදුකරගෙන ඇති අතර එක් අවස්ථාවකදී ඔහු වසරක් තුළ කාන්තාවන් 10ක් විවාහකර ගත් බව සඳහන්.
ඔහු තමන්ගේ පළමු විවාහය සිදුකරගෙන ඇත්තේ වයස අවුරුදු 17දී. එතකොට 39 වැනි විවාහය සිදුකරගෙන ඇත්තේ 2004 වසරෙදි. ඒ 25 හැවිරිදි සුරූපී තරුණියක්ව. දෙසීයකට කිට්ටු ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් බිරින්ඳෑවරුන් හැරුණුවිට අනෙක් සියල්ලෝම චානාගේ දරුවන් සහ දරු මුණුපුරන්. දරුවන් 89ක් වගේම මුණුපුරු මිණිපිරියන් 36ක් හැටියටයි පවුලේ සාමාජිකයින් ගණන සැලකෙන්නේ.
සිය පවුලේ සාමාජිකයන් වැඩිවීමත් එක්ක චානාට දැවැන්ත මහල් නිවාසයක් ඉදිකරන්නත් සිද්ධවුණා. ඔහු එය ඉදිකළේ ඊසානදිග ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ. ඔහුගේ පියා සතුව පැවති දේපළ භාවිත කරමින් ඉදිකළ එහි කාමර 100ක් ඇති බවයි සඳහන්. චානා අද ජීවතුන් අතර නොසිටියත් ඔහුගේ නිවාසයට අදටත් සංචාරක ආකර්ෂණය නොඅඩුව හිමිවෙන බව නම් රහසක් නෙවෙයි.
ඉන්දියාව බහු විවාහ අනුමත නොකරන රටක් වුණත් සියෝනා චානාට ඒ අවස්ථාව ලැබුණේ ඔහුගේ නිකාය නිසා. ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඔහු ‘මොමොන්’ නමින් හඳුන්වන ක්‍රිස්තියානි නිකායට අයත් පුද්ගලයෙක්. ඒ නිකාය බහු විවාහ අනුමත කරන නිකායක්වීම නිසයි චානාට බිරින්ඳෑවරු 39ක් එක්ක දීගකන්න ලැබුණේ. කෙසේ වුවත් අධිරුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් දිගින් දිගටම පීඩා විඳි චානා මියයන විට ඔහුගේ පවුලේ සමස්ත සාමාජිකයින් ගණන 164ක්.
“චානා තමන්ගේ බිරින්ඳෑවරුන් එක්ක හරි සතුටින් එකමුතුවෙන් හිටියා. එච්චර බිරින්ඳෑවරු ගොඩාක් එක්ක හිටියේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි කොහොම හරි චානා ඒක කළා.”
සියෝනා චානා මියගියාට පස්සේ ඉන්දීය මාධ්‍ය කිව්වේ එහෙම කතාවක්. ඒ විතරක් නෙවෙයි ඔහුගේ මරණයෙන් පස්සේ ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත පවා ඔහුව අගයන්න කටයුතු කරලා තිබුණා.
රුවන් එස්.සෙනවිරත්න