අක්ෂිදාන සංගමයේ ඇහැ වහලා ලක්ෂ 55ක් ගහලා
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ රු.ලක්ෂ 55කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (1 වැනිදා) දන්වා සිටියේය.
විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවකු මෙන්ම අක්ෂිදාන සංගමයේ සාමාජිකයකු වන ගාමිණී විජේසේකර කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ. එම සංගමයේ ව්‍යවස්ථාවට අනුව රුපියල් පනස්දහසට වැඩි ගෙවීම් භාරකාර මණ්ඩලයේ අනුමැතිය ඇතිව පමණක් සිදුකළ යුතුය. නමුත් සභාපතිවරයාගේ අනුමැතිය ප්‍රකාරව වේතන, විදුලි ගාස්තු, දුරකථන බිල්පත්, මාසිකව ගෙවිය යුතු නිශ්චිත ගෙවීම් කළ හැකි වබත් පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා සිටියි.
ව්‍යවස්ථාවට අනුව අදාළ කටයුතු එසේ විය යුතු බවට දන්වා තිබියදී 2019 වසරේ දිරි දීමනා ලෙස ඉකුත් වසරේදී (2020දී) භාරකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව අක්ෂිදාන සංගමය සතු මුදල් ලක්ෂ 55කට අධික මුදලක් සේවකයන්ට ගෙවා විශ්වාසය කඩ කර තිබෙන බවත් පැමිණිලිකරු දන්වා සිටියි.
අදාළ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් වූ වවුචර්වලට සභාපතිවරයා අත්සන් කර නොමැති බවත් එයට නියෝජ්‍ය ලේකම් සහ භාණ්ඩාගාරික අත්සන් කර වංචාවක් කර තිබෙන බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් දන්වා තිබේ.
මෙම සිද්ධියට අදාළව විමර්ශන පවත්වන බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය ඒ අනුව අක්ෂිදාන සංගමයේ සභාපති චන්දිම අමරසූරියගෙන්ද ප්‍රකාශ සටහන් කර බව දන්වා සිටියේය.
ඉෂාර රත්නකාර