News

අතුරු ගිණුමෙයි අයවැයෙයි වෙනස සජිත්ට හඳුන ගන්න බැහැ

‘අගමැතිවරයාගේ සංකල්පයක් අනුව එක ග්‍රාමසේවා වසමකට එක ගෙයක් ගාණේ ලංකාව පුරාම ගෙවල් දාහතර දාහක් හැදෙනවා. මේක ණයක් නෙවෙයි ප්‍රදානයක්. ලක්ෂ 11ක් වටිනා නිවසක් හැදෙන්නේ.

සජිත් ප්‍රේමදාසට උදාගම් පන්සීයක් හයසීයක් හැදුවත් බැහැ මේ ප්‍රමාණය හදන්න.

අතුරු සම්මත ගිණුමකයි අයවැයකයි වෙනස හඳුනා ගන්න බැරි විපක්ෂ නායක කෙනෙකුයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ.

විදේශ සම්බන්ධතා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත එලෙස පැවසුවේ පසුගියදා (29 වැනිදා) අංගොඩ මංසන්ධියේ පැවැති පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීය.

‘19 වැනි සංශෝධනය නිසා අපට අවශ්‍ය පොලිස්පතිවරයෙක්වත් පත්කර ගැනීමට හැකියාවක් නැහැ. නම් තුනක් අපි ව්‍යවස්ථා සභාවට යැව්වා. ඉන් තෝරාගත්තේ දෙවැනි නම. තනතුරේ ඉන්න අතරේ වැඩිම දින ගණනක් රිමාන්ඩ් භාරයේ ඉන්න ලෝකයේ එකම පොලිස්පති ඉන්නේ අපේ රටෙයි.

අද අපේ රටේ ඉන්නේ ජාත්‍යන්තරයට ඕන විදිහට නටවන්න පුළුවන් ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් නෙවෙයි. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම නිවැරැදි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවට හොඳ කණ්ඩායමක් තෝරා පත්කර ගත යුතුයි.

තරුණයන්, උගතුන්, බුද්ධිමතුන්, වියතුන් ආදී රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

ගෝඨාභයට ජනාධිපතිවරණයේදී ලැබුණ ජනවරම අර්ථවත් කරගන්න නම් තුනෙන් දෙකක ජනවරමක් මෙවර ලබාදිය යුතුයි.

 

සිරි​සේන ගමගේ