News

අධ්‍යාපනයේ චක්‍රලේඛ කඩමින් අමාත්‍යාංශය හිතුමතේ වැඩ

රජයේ ගුරුමාරු ප්‍රතිපත්තියක් 2017 දෙසැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක තිබියදී එම චක්‍රලේඛ විධිවිධාන අනුගමනය නොකිරීම නිසා ජාතික පාසල් 127ක ගුරුවරුන් 4123 දෙනකු නියමිත ස්ථාන මාරුවීම් නොලබා එකම පාසලේ දීර්ඝ කාලයක් සේවය කරන බවට විගණනයේදී හෙළිව ඇත.

මේ අතර ජාතික පාසල් 118ක ගුරුභවතුන් 786 දෙනකු ඔවුන් පත්වීම් ලද විෂයයට පරිබාහිර ඉගැන්වීම සඳහා අනුයුක්ත කර තිබේ.

ඊට අමතරව ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරුන් අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 10ක් ඉගැන්වීමේ කටයුතුවල නියැළිය යුතු වුවත් පාසල් 71ක නියෝජ්‍ය විදුහල්පතිවරුන් 146 දෙනකුට එකම කාලපරිච්ඡේදයක්වත් ඉගැන්වීමට වෙන් කර නොමැති බවටද හෙළි කර ගෙන ඇත.

සහකාර විදුහල්පතිවරුන් ද සතියකට කාලපරිච්ඡේද 12ක් ඉගැන්විය යුතු වුවත් එසේ පාසල් 29ක සහකාර විදුහල්පතිවරුන් 58 දෙනකුට ද කාලපරිච්ඡේද වෙන් කර නොමැත.

විෂය ඉගැන්වීමේ ගුරුවරුන් සතියකට අවම වශයෙන් විනාඩි 40ක් බැගින් වූ කාලපරිච්ඡේද 35ක් ඉගැන්වීමේ කාර්යයේ නියැළිය යුතු අතර පාසල් 94ක ගුරුවරුන් 811 දෙනකුට එසේ ඉගැන්වීමේ කාලපරිච්ඡේද බෙදා නොමැති බව හෙළි කර ඇත.

2018 ආරම්භය වන විටත් ජාතික පාසල් 123ක ගුරු පුරප්පාඩු 1775ක් පැවැති අතර පාසල් 94ක ගුරු අතිරික්ත 874ක් තිබී ඇත.

චමින්ද සේනාරත්න