අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි අයෙකු දින 13 කට පසුව මරුට
හලාවත – කොළඹ මාර්ගයේ ඉනිගොඩවෙල ප්රදේශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා දින 13ක් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි අයෙකු මියගොස් ඇතැයි හලාවත පොලීසිය පවසනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල පදිංචිව සිටි පිලිප්පැන්නගේ සනත් කුමාර (අවු:51) නම් අයෙකි.
පසුගිය 14 වැනිදා දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර රෝහල් ගත කර සිටි එම පුද්ගලයා ඊයේ (27) මියගොස් තිබෙනවා.
හලාවත – කොළඹ මාර්ගයේ ඉනිගොඩවෙල ප්රදේශයේ මාර්ගය අයිනේ ලොරියක් නවතා තිබූ ලොරියට ඉදිරියෙන් යතුරු පැදියක්ද නවතා තබා තිබුණා.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් එක්වරම මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියේ පිටුපස ගැටී තිබෙනවා. ටිපර් රථය ගැටීමත් සමග නවතා තිබූ ලොරිය ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ යතුරු පැදියේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලබා සිටි යතුරු පැදිකරුව එම අවස්ථාවේදීම ප්රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු ප්රතිකාර ලබමින් සිටින අතර තුර 27 වැනිදා මිය ගොස් තිබෙනවා.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්රාත් වරයා වෙත පසුගිය 14 වැනිදා සවස ඉදිරිපත් කර ඇති අතර, එහිදී රියදුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මුදා හරින ලෙසත් තුවාල ලබා සිටින යතුරු පැදිකරුට රුපියල් 50,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කළා.
ජූඩ් සමන්ත – හලාවත