News

අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ආගමික අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් පුනරුත්තාපනය කිරීම සඳහා නව රෙගුලාසී සහිත ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අදාළ නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.

එම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත භාරවෙන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුළ පුනරුත්තාපනයට ලක් කිරීමට හැකියාව පවතී.

ඒ සඳහා නීතිපතිවරයා විසින් මහෙස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කර නියෝගයක් ලබාගත යුතු බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.