News

අනෙකුත් ප්‍රතිශක්තිකරණ සේවා අඩපණ වුනොත් බරපතළ සෞඛ්‍ය අවදානමක්

ගෝලීය වශයෙන් බලපා ඇති කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් අනෙකුත් ප්‍රතිශක්තිකරණ සේවාවන් නවතා තැබීම තවත් බලවත් සෞඛ්‍ය තර්ජනවලට හේතු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක ප්‍රතිශක්තිකරණ සතිය (අප්‍රේල් 24-30) අදින් ඇරඹෙන අතර එම සේවාවන් අඩපණ වීම නිසා ආරක්ෂිත හා ඵලදායී එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග නැවත හිස ඔසවනු ඇති බව එම සංවිධානය අවධාරණය කරයි.

කෙටි කාලයකට වුවද මෙම ප්‍රතිශක්තිකරණ සේවාවන් ඇනහිටීමෙන් සරම්ප සහ පෝලියෝ වැනි රෝග පැතිරීමේ අවදානම වැඩි බවත්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පසුගිය වසරේ ජීවිත 6000 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරමින් මාරාන්තිකව සරම්ප පැතිර ගියේය.

එසේ වූයේ ඉබෝලා වසංගතය පැතිරීමේදී අනෙකුත් ප්‍රතිශක්තිකරණ සේවාවන් පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා බවද එම සංවිධානය කියා සිටී.

ඒ අනුව කොවිඩ් – 19 වසංගතය සමග සටන් කරමින් සිටියදී ලොව මෙතෙක් කාලයක් පාලනය කළ සරම්ප, පෝලියෝ වැනි රෝග ද තවදුරටත් පාලනය කරගනිමින් කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් තවත් වසංගත තත්ත්වයන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් අවධාරණය කර සිටියි.

 

ශිරන්තනි මානවඩු