News

අපේ කුණු මදිවට ගුවනින් කුණු අපට

ශ්‍රී ලංකාවට ප්‍රංශයේ පිහිටි සමාගමකින් කසළ එවූ බවට සාක්ෂි හමුවී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති DAT-Arbantis නමැති සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන Chris O’Donnell 2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයකින් ඒ බව තහවුරු වන බවයි.

අදාළ ව්‍යාපාරිකයා විද්‍යුත් පණිවුඩ හුවමාරුවේදී ඩොලර් 1400ක් එක් කන්ටේනරයක් සදහා සිය සමාගමට ගෙවිය හැකි බවට සදහන් කර ඇත.

නමුත් මෙරට ව්‍යාපාරිකයා සදහන් කර ඇත්තේ මෙරටට කසල ගෙන ඒම නීතිවිරෝධී බවයි.

වෙනත් යෝජනාවක් තමන්ට කළ හැකි බව පවසන දේශීය ව්‍යාපාරිකයා ඒ සදහා එක් මෙට්ටයක් සදහා ඩොලර් 45 ක මුදලක් අවශ්‍ය බව පවසා ඇත.

පසුව ප්‍රංශ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා සදහන් කර ඇත්තේ එම මුදල වැඩි බැවින් ලංකාවේ වෙනත් සමාගමකට අදාල කසල ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම විද්‍යුත් පණිවුඩ මගින් මෙරටට ප්‍රංශයෙන් කසල කන්ටේනර් 150 ක් පැමිණ ඇති බවට පෙනී යන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පවසයි.

මේ පිළිබදව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.