අල්ලස් චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයාගේ නඩුව විභාග කිරීමට දින නියම වෙයි
රෝගීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රසායනාගාරයකින් රැගෙන එනු ලබන වෛද්‍ය පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයේ හිමිකරුගෙන් මාසිකව රුපියල් 25000/- ක් බැගින් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 75,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි චෝදනා ලැබ සිටින කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 10 වන දා ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (29) නියෝග කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන්ම එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන සෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියාය. එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින්ම ඉදිරි දිනවල තමාට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ කලින් නියම කරනු ලැබූ නඩු සඳහා පෙනී සිටීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුව ඔක්තෝබර් මස 10 වන දා විභාගයට ගැනීම සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය නඩු විභාග කඩිනමින් නිමා කිරීමේ අරමුණින් මෙම විශේෂ මහාධිකරණ පද්ධතිය ස්ථාපිත කර ඇතැයි සිහිපත් කළාය.
දෙපාර්ශවය ඉදිරිපත් කර තිබූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ විභාගය ඔක්තෝබර් මස 10 වන දා ආරම්භ කිරීමට තීරණය කළ අතර එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන්ට අවවාද කළහ.
බරපතළ ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමේ අරමුණින් වත්මන් රජය මගින් ස්ථාපිත කරන ලද මෙම දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු පළමු නඩුව මෙය වීම ද විශේෂත්වයකි.
අධිකරණ වාර්තාකරු
