News

අවිස්සාවේල්ලේදී කොටි සැමරූ උතුරේ තරුණයන් කෝ?

‘‘අවිස්සාවේල්ලේ කොටි මහවිරු සැමරුම්’’ යන ශීර්ෂය යටතේ පසුගිය ‘සතිඅග අරුණ’ කළ හෙළිදරව්වත් සමග ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබේ. පසුගිය සතියේ අප වාර්තා කළේ 2009 මැයි 18 දා මුලතිව් වෙල්ලමුල්ලවෛක්කාල්හිදී අවසන් කළ කොටි ත්‍රස්තවාදය යළි විටින් විට හිස එසවීමට ගත් උත්සාහයන් පිළිබඳවය. එකී උත්සාහයන්ගේ අලුත්ම සිද්ධිය වූයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කොටි මහවිරු සැමරුමක් පැවැත්වීමය.

මෙම සිද්ධියට සම්බන්ධ වී සිටියේ අවිස්සාවේල්ල සීතාවක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවයට උතුරෙන් පැමිණි තරුණයන් තිදෙනකු බවද අපි ??? අනාවරණය කළෙමු.

ඉන්දියන් ජාතිකයකුට අයත් අදාළ කර්මාන්තශාලාවේ සේවය සඳහා වැඩි වශයෙන් බඳවා ගෙන ඇත්තේ උතුරෙන් පැමිණි පිරිස්ය. ඔහුගේ කර්මාන්ත ශාලා කිහිපයක්ම මෙම ආයෝජන කලාපයේ ඇති අතර තවත් කිහිපයක් රටේ වෙනත් ස්ථානවල ඇත.

සැකකරුවන් සේවය ඇත්තේ කුඩා දරුවන්ගේ නිමි ඇඳුම් සකසන කර්මාන්ත ශාලාවක එම්බ්‍රොයිඩර් අවශේෂය. සැකකරුවන් තිදෙනාම මන්නාරම ප්‍රදේශයෙන් එහි සේවය සඳහා පැමිණියෝ වෙති. ඔවුන් ආයතනයෙන් ලබාදී ඇති නවාතැන්පළක නැවතී සිටියදී මෙම සිද්ධියට මාස කිහිපයකට පෙර ඉන් ඉවත්ව අවිස්සාවේල්ල, කුඩගම, මැන්ගුස්වත්ත ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගොස් තිබේ.

එක් සැකකරුවෙක් වන මන්නාරම නානාට්ටාන්හි පදිංචි වීරබාහු තේරුකිරුබාකරන් 1988 වසරේ ජනවාරි මස ඉපිද ඇත්තේ ඉන්දියාවේදීය. ඒ 1990 දශකයේදී ඔහුගේ දෙමාපියන් බෝට්ටු මගින් පැනගොස් ඉන්දියාවේ ජීවත් වූ අවදියේය. පසුව 2004 වසරේදී එම ක්‍රමයටම ඔවුන් මන්නාරමේ පදිංචියට පැමිණ ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් තරුණයන් දෙදෙනා ඉලංගම්මේ සෙල්ලක්කොඩි ප්‍රදීපන් සහ මරියදාස් ඇන්තනී ඇන්ජලෝ යන අයයි. ඔවුන් දෙදෙනාම මන්නාරම ගේන්මිමන් ගමේ ආසන්න නිවෙස් දෙකක පදිංචිකරුවන්ය.

1990 ජූලි 09 දින උපන් සෙල්ලක්කොඩි ප්‍රදීපන්ට සහෝදරයන් දෙදෙනෙක් හා සහෝදරියක්ද වෙති. ඉන් එක් සහෝදරයෙක් ජීවත් වන්නේ මැලේසියාවේය. විවාහකයෙක් වන සෙල්ලක්කොඩි 2008 වසරේදී පුපුරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව වසර තුනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

ඔහුගේ අසල්වැසියා වන මරියදාස් ඇන්තනී ඇන්ජලෝගේ වයස අවුරුදු 34කි. සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වන විට වයස අවුරුදු 25ක තරුණයකු වූ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් හෝ වෙනත් විස්තර මේ දක්වා හෙළිදරව් වී නැත. අවස්සාවේල්ලේ පැවැති ඔවුන්ගේ මහවිරු සැමරුමේදී කේක් ගෙඩියක් ගෙනැවිත් ඇත්තේ ඔහුය.

නොවැම්බර් 26 දා ඔවුන් පැවැත්වූ මහවිරු සැමරුමෙන් පසු ඇඟලුම් කම්හලේ සෙසු සේවකයන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ සිය ගම්බිම් බලා ගොස් ඇති මේ දෙදෙනා දැන් එම ප්‍රදේශයෙන්ද අතුරුදන්ය. ඔවුන් භාවිත කළ දුරකථන අංකද විසන්ධි කර ඇත.

මේ කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ අවිස්සාවේල්ල හා ඒ අවට වතුවල ජීවත් වන දෙමළ තරුණ පිරිස් සමග සබඳතා ගොඩ නගා ගැනීම බවට සැකයක් පවතී. එහෙත් ඊට පෙර මහවිරු සැමරුම පිළිබඳ හෙළිදරව් වීම නිසා ඔවුන්ට ප්‍රදේශය අතහැර යන්නට සිදුවිය. ඔවුන් පිළිබඳ තොරතරු හෙළිදරව් කර ගත යුත්තේ මේ නිසාය.

මේ සිද්ධිය රටට හෙළි කර දින දෙකක් ගත වන විට (දෙසැම්බර් 18) මුලතිව්, සෙල්ලපුරම් වෙරළේ තිබී කොටි සංවිධානයේ ලාංඡනය සහිත කොඩි දෙකක් හමුවිය. ඒවා හමුවී ඇත්තේ ධීවරයන් පිරිසකටය. ඔවුන් පවසා ඇත්තේ මුහුදේ සිට ගසාගෙන ආ කසළ සමග මෙම කොඩි දෙකද තිබූ බවය. එසේ එය පිළිගත හැකි කරුණක් නොවන්නේ එම කොඩි දෙකම අලුත්ම ඒවා වීම නිසාය.

යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ මේ අතර දෙමළ කොටින්ගේ සටන අමතක කොට නැතැයි යනුවෙන් සඳහන් කොටි ලාංඡනයද සහිත පෝස්ටර් යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ අලවා තිබියදී අද අලුයම ආරක්ෂක අංශවලට හමුවිය.

එම ප්‍රදේශයේ වල්ලෙයි මුනිශ්වරන් කෝවිල ආසන්නයේ මෙම පෝස්ටර් අලවා තිබූ බව ආරක්ෂක අංශ සඳහන් කළේය. ‘‘කොටින්ගේ පිපාසය දෙමළ ඊළම’’ යැයිද එම පෝස්ටරයේ සඳහන්ව තිබී ඇත.

මේ සිද්ධීන් තනි තනිව ගත් විට සුළු සිද්ධීන් ලෙස සැලකිය හැකි වුවද ඒවා අතර අන්තර් සම්බන්ධයක් තිබිය නොහැකි යැයි කියන්නට තරම් සාධාරණ හේතු ඉදිරිපත් වී නැත. මේ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ දැඩි අවධානය යොමුවිය යුත්තේ එනිසාය.

චමින්ද සේනාරත්න