ආගම් අනුව පාසල් වෙන් කිරීම වැරදියි – පාසල්වල ආගම් ඉගැන්වීමත් වැරදියි – ජෝෂප් ස්ටාලින්
‘‘රටේ පොදු ජනතාවගේ දරුවන්ට පාසල් එන්න කියලා මැති ඇමැතිවරු තමන්ගේ දරුවන් ගෙදර තියාගත්තලු’’ ඔබේ මේ චෝදනාව කවුරු ඉලක්ක කරගෙනද?
කිසිවකු ඉලක්ක කර ගත්තක් නොවේ. නමුත් පොදුවේ ගත්තහම කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට යන්නේ මැති ඇමැතිවරුන්ගේ රජයේ උසස් නිලධාරීන්ගේ ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ ළමයි. ඒ පාසල්වලට ළමයින්ගේ පැමිණීම පසුගිය දවස්වල ඉතාම පහළ මට්ටමකයි තිබුණේ. ඇතැම් පාසල්වල 30-40 යි. ඒකෙන් පේනවා මේ බොහෝ දෙනකුගේ දරුවන් පැමිණ නැති බව. අධ්‍යාපන ඇමැතිවරයා ආරක්ෂාව තහවුරුයි කියලා කියන කොට මේ උසස් මැති ඇමැතිවරු ආදර්ශයක් දිය යුතුයි. මුලින්ම තමන්ගේ දරුවන් පාසලට එවීමෙන්. අධ්‍යාපන ඇමැතිවරයා කියන එක සහෝදර ඇමැතිවරුන් පිළිගන්නේ නැතිනම් ඒක ගැටලුවක්නේ.
අර ආපු කීප දෙනා අතර සමහර විට මැති ඇමැතිවරුන්ගේ ළමයි ඉන්න ඇති?
නැහැ. කොළඹ ආරක්ෂක විද්‍යාලයේ ඉන්නේ ආරක්ෂක අංශවල අයගේම දරුවෝ. ඒත් ඒ දරුවොවත් පාසල් ඇවිල්ලා තිබුණේ නැහැ. ආරක්ෂාව සහතික කරන අයගේ දරුවොත් පාසල් ඇවිල්ලා නැති කොට තව මොන කතාද? අපි කියන්නේ අධ්‍යාපන ඇමැතිවරයා මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.
වගකීම් සහගතව කටයුතු කළ යුතුයි කියන්නේ ආරක්ෂාව තහවුරු කළේ නැහැ කියන එකද?
දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කළේ නැහැ කියන එකයි මම කියන්නේ. අධ්‍යාපන ඇමැතිවරයා විවිධ ප්‍රකාශ කළා මුලින් කිව්වා පාසලට පොලිස් නිලධාරියෙක් දෙන බව එතකොට පොලිසියෙන් කිව්වා අපි එවැනි නිලධාරියෙක් දෙන්නේ නැහැ කියලා. ඊළඟට ඇමැතිවරයා කිව්වා සියලු පාසල් 6 වැනි දා පටන් ගන්නවා කියලා. ආපහු කිව්වා ප්‍රාථමික අංශ 6 වැනිදා පටන් ගන්නේ නැහැ කියලා. මේ අතර කාදිනල්තුමා ප්‍රකාශයක් කරමින් පැවසුවා කතෝලික පාසල් පටන් ගන්නේ නැති බවට. අනිත් එක කතෝලික කියලා පාසල් නැහැ. රජයේ ආධාර ලබන පාසලුයි තිබෙන්නේ. පඩි ගෙවන්නෙත් රජයෙන්. ඉතින් එක එක්කෙනා පරස්පර අදහස් ප්‍රකාශ කරන කොට දෙමාපියන් තුළ සැක උපදින එක නවත්වන්න බැහැ. මේ දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට තවමත් ප්‍රමාද නැහැ. දැන්වත් දෙමාපියන්ට පිළිගත හැකි ලෙස ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතුයි.
බෞද්ධ, කතෝලික, මුස්ලිම්, මද්රසා වගේ විවිධ පාසල් තිබෙනවා. දැන් මද්රසා පාසල් සම්බන්ධයෙන් විවිධ චෝදනාත් එල්ල වෙනවා. ඔබගේ ගුරු සංගමය නියෝජනය කරන ගුරුවරු මද්රසා පාසල්වල ඉන්නවාද?
මද්රසා පාසල් රජයේ පාසල් නොවේ. ඒ නිසා ඒ ගුරුවරුන් අපේ සංගමයේ නැහැ. රජයේ පාසල් සහ ආධාර ලබන පාසල්වල අය අපේ සංගමයේ ඉන්නවා.
මද්රසා පාසල්වල අන්තවාදී දහම් උගන්වන බවට චෝදනා තිබෙනවා. ගුරු සංගම් නියෝජිතයෝ හැටියට ඔබටත් මේ පිළිබඳව හඬක් නැගීමේ යම් වගකීමක් තිබෙනවා නේද?
1943 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධානම දේ තමයි පාසල්වල ආගම උගන්වන්න එපා කියන එක. කිසිම ආගමක් උගන්වන්න එපා කියලයි කිව්වේ. පාසල්වල ආගම ඉගැන්වීම දේශපාලකයින් තම ඡන්ද ගොඩ වැඩි කරගන්න ක්‍රමානුකූලව ගොඩනගපු දෙයක්. ඉතින් කන්නන්ගර ප්‍රතිපත්ති මත හිටගෙන අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරලා තිබුණා නම් මෙවැනි මූලධර්මවාදී ආගමික මතවාද මතුනොවන බවයි මගේ අදහස.
ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් ආගම වෙන්විය යුතුයි ?
ඒකටනේ දහම් පාසල්, ඉරිදා පාසල් තිබෙන්නේ. ඒවායේදී ආගම ඉගැන්නුවට ගැටලුවක් නැහැ. මේ සම්බන්ධයෙන් දැන් මතවාදයක් ගොඩනැගෙමින් තිබෙනවා. ආගමික ලෙස පාසල් වෙන් කිරීම වැරදියි කියලා එය හොඳ තත්ත්වයක්.
මම අහන්නේ මේ සම්බන්ධයෙන් ගුරු සංගම් විදිහට යම් හඬක් නගන්න කටයුතු කරලා තිබෙනවාද?
අපි හැමදාම හඬ නැගුවේ ඒ වෙනුවෙන් තමයි. අඩු තරමේ දැන්වත් ඒවා අවබෝධ වෙනවා නම් හොඳයි.
මෙවැනි කාරණා ගැන රජයත් සමග මීට පෙර සාකච්ඡා කළාද?
අධ්‍යාපන අමාත්‍යාංශයට වගේම ජාතික අධ්‍යාපන කොමිසමටත් අපි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ඒවට මොකද වුණේ ?
ජාතික අධ්‍යාපන කොමිසම වාර්තා හැදුවා. එහෙත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.
අධ්‍යාපන ක්ෂේත්රයේ ඉන්න ගුරුවරියන් හෝ සිසුවියන් මොට්ටැක්කිලියෙන්, ෆර්දාවෙන් හෝ බුර්කාවෙන් මුහුණ වැසීම ගැන ඔබ දරන අදහස කුමක්ද?
එවැනි දේ ගැන තීරණ ගැනීම් අයිතිය ඒවා පලඳින සමාජයටම භාරදිය යුතුයි. අපි බලෙන් ඕවා ගලවන්න ගියහම තමයි ගැටලු මතුවෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය තුළිනුත් අයි.එස්.අයි.එස්. ලා මතුවුණා?
කවුරු වුණත් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් අංශයක් කවදාවත් තිබුණේ නැහැ. මේ දැන් තමයි එවැනි අංශ ඇතිවෙලා තිබෙන්නේ. දැන් වතු පාසල් අංශ, කතෝලික අංශ, මුස්ලිම් අංශ මේවා එක එක් කෙනා ඡන්ද ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් ගොඩ නගපුවා.
ලංකාවේ පාසල් වර්ග දෙකයි තිබනේනේ. සිංහල මාධ්‍ය සහ දෙමළ මාධ්‍ය වශයෙන්. පසුගිය කාලයේ තමයි මේ එක එක සෙල්ලම් ඇවිත් තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ පොදුවේ සිංහල / දෙමළ මාධ්‍ය පාසල් ඇති කිරීමයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනට තිබෙන ඔය මුස්ලිම් වතුපාසල් වැනි අංශවලින් කෙරෙන්නේ කුමක්ද?
ඔය අංශවලට අධ්‍යාපන අධ්යක්ෂවරයො අරගෙන ඔහෙ ඉන්නවා. පොදුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් ඉන්නවා. ජාතික පාසල් ඒකකයක් තිබෙනවා. පළාත් සභා තිබෙනවා. මේ ඔක්කොම තිබෙද්දි මුස්ලිම් වතු වගේ අංශ මොකටද. එහෙම අවශ්‍ය නැහැ.
මුස්ලිම් පාසල් අංශය මගින් එම පාසල්වලට අදාළව ප්‍රශ්නපත්‍ර හැදීම, විෂය නිර්දේශ සැකසීම වගේ කටයුතු වෙනවද?
නැහැ. නැහැ. විෂය නිර්දේශය තීරණය කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. එම ජාතික අධ්‍යාපන ආයතනය හදන විෂය නිර්දේශයෙන් තමයි ප්‍රශ්නපත්‍ර හදන්නේ. ඒකයි මම කියන්නේ වෙන වෙනම ජාති ආගම් වශයෙන් අංශ අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩක් නැහැ කියලා.
ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගෙත් ඇතැම් ගුරුවරුන්ගෙත් විශාල හිඟයක් පවතිනවා ?
ඔව් තුන්සිය දෙකක හිඟයක් තිබෙනවා.
ඔබ ගුරු සංගමය මේ ගැන රජයත් සමග කතා කළාද?
ඔය සම්බන්ධයෙන් අයැදුම්පත් කැඳවලා සම්මුඛ පරීක්ෂණ තියලා ආයේ ඒක අවලංගු කළා.
ඉතින් ගුරු සංගමය මොකද කළේ?
අපි විරෝධය පළ කළා. ඔය පුරප්පාඩු තිබෙන පාසල්වල දැන් ඉන්නේ වැඩ බලන විදුහල්පතිවරුයි. වැඩ බලන විදුහල්පතිවරයෙක් කරන්නේ තමන් පත් කරපු අයට සේවය කරන එකයි. මේවට විධිමත්ව විදුහල්පතිවරයෙක් පත් කළහම එයා විධිමත්ව වැඩ කරනවා.
අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජය පාසල දරුවන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. පසුව එම රක්ෂණය රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩිකරන්නත් කටයුතු කළා.
මෙම ක්‍රියාමාර්ගවත් යහපත් ලෙස ඔබ දකින්නේ නැද්ද?
පළමුවෙන්ම කියන්න ඕන මේ ‘‘සුරක්ෂා රක්ෂණය’’ කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ලංකාවේ ළමා රෝහල් හදලා ළමා සෞඛ්‍ය තත්ත්වය යහපත් කරන්නයි කටයුතු කළ යුත්තේ. ළමයෙක් රෝගියෙක් වෙන්න පෙර එය වළක්වා ගැනීමයි වැදගත්. නැතුව රක්ෂණය කිරීම නෙමෙයි.
පසුගිය කාලේ මෙම රක්ෂණයට රුපියල් මිලියන දෙදහස් හාරසියයක් වෙන් කළත් රක්ෂණ ප්රතිලාභ ගෙවා තිබුණේ. මිලියන හාරසියයක් වැනි මුදලක්. මේකෙන් රක්ෂණ සමාගමට සම්පූර්ණයෙන් ලාභයි. අනිත් පැත්තෙන් කොමිස් යනවා. මෙවර මේ රක්ෂණය ලබාදී තිබෙන්නේ විදේශීය රක්ෂණ සමාගමකටයි.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තනිකරම අවුල් ජාලයක්. හොර ඔප්පු හදනවා. පගාව දෙනවා. ඒ විතරක් නොවේ. තමන්ගේම ඉඩමේ හිටියත් ඔප්පුව තමන්ගේම නමට නැත්නම් ලකුණු ලැබෙන්නේ නෑ. මේ ක්‍රමවේදය වෙනස් කරන්න බැරිද?
‘‘2018 දින සියයේ’’ වැඩපිළිවෙළේදී එක අංගයක් තමයි පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් යොදන එක. එහෙත් දින සියය ඇතුළත ඒ වැඩේ කෙරුණේ නැහැ. රටේ පාසල් දස දහස් එකසිය හැටදෙකක් තිබුණට අති ජනප්‍රිය පාසල් 36ක් තිබෙනවා. ඔන්න ඔතන තමයි තරගය තිබෙන්නේ.
දේශපාලකයින් සහ විවිධ බලය ඇති නිලධාරීන් තමන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීමට නීත්‍යනුකූල නොවන විවිධ චක්‍රලේඛ ක්‍රම උපයෝගි කරගන්නවා. ඒ නිසා මේ කණ්ඩායම කවදාවත් කැමැති නැහැ. නිවැරදි ක්‍රමවේදයක් සැකසෙනවට. නිවැරදි ක්‍රමවේදයක් සැකසුවොත් ඒ ගොල්ලන්ගේ ළමයින්ට ජනප්‍රිය පාසල් අහිමි වෙනවා.
ජනප්‍රිය පාසල් කරා හඹා යෑමට පිළිතුරක් ලෙස ළඟම පාසල හොඳම පාසල් බවට පත්කිරීමේ වැඩසටහන ගැන අදහස මොකක්ද?
ඒකත් තේරුමක් නැති වැඩක්. එක්දහස් නවසිය අනූ ගණන්වල ලෝක බැංකුවෙන් පටන් ගත්තා ව්‍යාපෘතියක් එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පාසල් දෙකක් අලුතින් හදන්න. චන්ද්‍රිකාගේ කාලේ ‘‘නවෝද්‍යා පාසල්’‘ කියලා පටන් ගත්තේ ඔය ව්‍යාපෘතිය. ඊට පස්සේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා ‘‘ඉසුරු පාසල්’’ කියලා පටන් ගන්නෙත් ඕක. බන්ධුල ගුණවර්ධන ‘‘ද්වීතීයික පාසල්’’ ලෙස කරළියට ගෙනාවෙත් ඕකමයි. දැන් ළඟම පාසල හොඳම පාසල ලෙස නම වෙනස් වෙලා එකම කේක් ගෙඩියේ අයිසින් එක විතරක් වෙනස් වෙලා.
පළාත් පාසල්වල හිටපු ගුරුවරුන් පිරිසක් පසුගියදා ජාතික පාසල්වලට අනුයුක්ත කළා. ඒ අයට නැවත පළාත් පාසල්වලට යන ලෙස දැනුම්දී තිබෙනවා. ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු තිබියදී මේ සිදුවන දේ පැහැදිලි නැහැ.
එලෙස කළ අනුයුක්ත කිරීම් විධිමත්ව සිදුවී නැහැ. හරිනම් සිදු කළ යුතුව තිබුණේ ස්ථාන මාරු කිරීමයි. එහෙම වෙලා තිබුණා නම් දැන් මතුවී තිබෙන ගැටලුව මතුවන්නේ නැහැ.
මේ ඇතිවී තිබෙන තත්ත්වයට ඔබ සංගමයේ යම් මැදිහත්වීමක් සිදුකරනවාද?
මෙහිදී පීඩාවට පත් වී සිටින ගුරුවරුන් සිටිනවා නම් ඒ අයට කඩිනම් සහනයක් දිය යුතුයි. ඒ වගේම ජාතික පාසල්වල පුරප්පාඩු දෙස බලා පළාත් සභාවලින් නිදහස් කොට එම ගුරුවරුන් ජාතික පාසල්වලට ස්ථාන මාරු කළ යුතුයි.
තුෂාර උඩවත්ත