News

ආයුර්වේදයෙන් කොවිඩ් ආරක්ෂක මුර දෙවියන්ට ඖෂධීය පානයක් හා ධූමායන කුඩු නොමිලේ

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සක්‍රිය සේවයේ නිරතව සිටින සියලු දෙනාගේම ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ආයුර්වේද ඖෂධ වලින් සකස් කළ ආයුර්වේද ඖෂධ පානය හා විෂබීජ හරණය සඳහා සකස් කළ ධුමායන කුඩු නොමිලේ බෙදා හැරීම පෙරේදා (01 වැනිදා) ආරම්භ කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරණතුංගගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පොලිස් නිලධාරින්ට, සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලටද දැනට ධුමායන කුඩු සහ ආයුර්වේද ඖෂධ පානය ලබා දී තිබේ.

ධුමායන පැකට් 10,000 ක් සහ ඖෂධීය පාන පැකට් 10,000 ක් සකස් කර බෙදා හැරීමට නියමිත බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය එස්. පී. කේ. තරංග පවසයි.

අගිල්, වදකහ, සුදුහඳුන්, කොහොඹ, දිවුල්, පැගිරි, කුරුඳු වැනි ඖෂධ භාවිත කරමින් ධුමායන පැකට් සකස් කර ඇත. ඉඟුරු, වෙනිවැල්, කොත්තමල්ලි, දාරු, පාරිදා, හීන් අරත්ත භාවිත කරමින් ඖෂධීය පානය සකස් කර තිබේ.

මෙම ඖෂධ ඉතාම දුර බැහැර ප්‍රදේශවලින් එකතු කරගත් බවද ඔහු පැවසීය. මෙම වැඩපිළිවෙළ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේම සහයෝගය ලැබී ඇති බවද මාධය ප්‍රකාශක වෛද්‍ය එස්. පී. කේ. තරංග සඳහන් කරයි.

 

උදයජීව ඒකනායක