News

උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග පිළිබඳ තීරණය 9වැනිදාට පෙර

මෙම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග කල් දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය පළමු පාසල් වාරය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

පළමු පාසල් වාරය අවසන් කෙරෙන්නේ ලබන මස 9 වැනිදා ය. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විෂය නිර්දේශ ආවරණය කර තිබේද යන්න පිළිබඳව ඊට පෙර තොරතුරු ලබා ගන්නා බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවසීය. දැනට ලැබෙමින් පවතින තොරතුරු අනුව විෂය නිර්දේශ ආවරණ කටයුතුවල ගැටලුවක් ඇතැයි සිතිය නොහැකි බව ද ලේකම්වරයා කීවේය.

අගෝස්තු මාසයට නියමිත විභාග කල් දැමීමේ අවශ්‍යතාවක් නැතැයි ද යම් ලෙසකින් විෂය නිර්දේශ ආවරණ ගැටලුවක් පවතී නම් ආවරණය කළ කොටස්වලට අදාළව ප්‍රශ්න පත්‍ර සකස් කළ යුතු යැයිද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ද සඳහන් කළේය. විභාග කල් දැමීමේ අවශ්‍යතාව පවතින්නේ පෞද්ගලික උපකාරක ගුරුවරුන්ට හෙයින් අමාත්‍යාංශය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කියයි.

නිලන්ත මදුරාවල