News

උතුරු පළාත් සභාවේ මීළඟ මහ ඇමතිකමට සුදුස්සා මමයි – සි.වි.කේ.ශිවඥානම් පවසයි

උතුරු පළාත් සභාවේ මීළඟ මහ ඇමති ලෙස පත්වීමට සුදුස්සා තමන් බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා පවසයි.

ශිවඥානම් මහතා පැවසූවේ තමන් උතුරු පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කළ අවධියේ පළාත් සභාවේ කටයුතු සම්බන්ධයෙන් මනා අධ්‍යයනයක් කළ අතර, තමන් වෙත ඒ වෙනුවෙන් අවශ්‍ය අත්දැකීම්ද පවතින බවයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් තේරී පත්වු උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමෙන් අනතුරුව මීළඟ ප්‍රධාන අමාත්‍ය තනතුර සම්බන්ධයෙන් තෝරාගත යුතු පුද්ගලයා සම්බන්ධයෙන් විවිධ කතිකාවන් මතුවිය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන මාවෙයි සේනාධිරාජා මහතා මීළඟ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා පැවසුහ.

අදාළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් සි.වි.කේ.ශිවඥානම් මහතා පැවසූවේ තමන් පාර්ලිමේන්තු මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් නොවන අතර, පළාත් සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අත්දැකීම් සතු තමන් මීළඟ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදුසුම පුද්ගලයා වන බවයි.

 

මාධව කුලසූරිය