උස් කඳු 35ක සන්නිවේදන කුලුනු ඉදිකිරීමට සැලසුම්
දුරකතන පහසුකම් ලබාදීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් උස් කඳුමුදුන් හතළිහක් පමණ තෝරා ගෙන ඒවා එළිපෙහෙළි කිරීමට සැලසුම් කර ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
පරිසර හානි සම්බන්ධයෙන් එම ව්‍යාපාරයට තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් කරන ලද ඉල්ලීම්වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කඳුමුදුන්වල සන්නිවේදන කුලුනු ඉදිකිරීමට යන සූදානම පිළිබඳවය. එම ප්‍රදේශවල ජනතාව පැවසුවේ ඇතැම් කඳුමුදුන් ඓතිහාසික වටිනාකමින් යුත් ඒවා බවත්, තවත් ස්ථානවල වෙනත් සමාගම්වලට අයත් ජංගම දුරකථනවල සන්නිවේදන කුලුනු තිබියදී අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විදුලි සංනිවේදන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ජාල) හෙළසිරි රණතුංගගෙන් කරන ලද විමසීමේ දී ඔහු සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුරකථන සංඥා අඩු මට්ටමක පවතින බැවින් ගමට සන්නිවේදනය යන වැඩසටහන යටතේ අලුතින් දුරකථන කුලුනු 35ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. ඊට අවශ්‍ය සිවිල් ගුවන්සේවා අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ පුරාවිද්‍යා යන ආයතනවල අනුමැතිය ලැබුණු පසු පමණක් ඒ සඳහා අවසර ලබා දෙන බවයි. මේ වනතෙක් එහි අවසන් තීරණයකට එළඹ නැති බව අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහගෙන් කළ විමසුමකදී සභාපතිවරයා සඳහන් කළේ තවම ඒ සඳහා අවසර ලබා දී නොමැති බැවින් ක්ෂේත්‍ර චාරිකාවකින් පසු ඊට අනුමැතිය ලබාදෙන බවයි. එසේ දැනට අදාළ සමාගම් තෝරාගෙන ඇති ස්ථාන සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් 1981 අංකය අමතා දැනුවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
චමින්ද සේනාරත්න
