එජනිස පොහොට්ටු සන්ධානයේ අවසන් තීන්දුව 21 වැනිදා
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා පොදුජන පෙරමුණ එක්ක ගොඩනගන සන්ධානයේ අවසන් තීරණය මෙම 21 වැනිදා ජනාධිපති මෛත්රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග පවත්වන රැස්වීමේදී තීරණය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා පැවැසීය.
ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ විසි ගණනක හා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ විසිහතේ නියෝජිතයින්ද එම රැස්වීමට සහභාගිවීමට නියමිත බව මන්ත්රීවරයා සඳහන් කළේය.
‘‘රනිල්ට එරෙහිව ගොඩනගන මහා සන්ධානයෙන් ඊළඟට එන පළාත් සභා, මහමැතිවරණ හෝ ජනාධිපතිවරණ යන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙනවා. ජනාධිපතිවරණයට මේකෙන් දාන්නේ එක අපේක්ෂකයයි. දැනට ඉදිරියෙන්ම ඉන්නේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහත්තයා.
ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහතා. හැබැයි කවුද තරගයට එන්නේ කියලා තීරණය කරන්න මෛත්රිටවත්, ගෝඨාභයටවත් බෑ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ මෛත්රිපාල සිරිසේන මහත්තයත්, මහින්ද රාජපක්ෂ මහත්තයත් ඇතුළුව ගොඩනගන මහා සන්ධානයේ නායකයින්. එහිදී මෛත්රි ජනාධිපති අපේක්ෂකයා වුණොත් වේදිකාවේ පළමු කතාව කරන්නේ ගෝඨාභය. ගෝඨාභය අපේක්ෂකයා වුණොත් පළමු කතාව මෛත්රිපාල යැයි මන්ත්රීවරයා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සේනාරත්න