News

එජාපෙ දෙදරයි – දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඉවත් වෙන්න ඔන්න මෙන්න

මනෝගනේෂන්, පී. දිගම්බරම් හා වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පෙරමුණින් ඉවත් වීමට සූදානම් වෙයි. එම පෙරමුණේ ප්‍රධානම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්ව අර්බුදය මෙතෙක් නොවිසඳීම හේතුවෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම තීරණය ගැනීමට සූදානම් වන බව පැවසේ.

මේ පිළිබඳව එම සන්ධානය නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්නන්ගෙන් ‘‘අරුණ’‘ කරන ලද විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ එක්සත් ජාතික පෙරමුණින් සිය සන්ධානය ඉවත් විය යුතු බවට මතයක් මේ වන විට පක්ෂය තුළ සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි. එළඹෙන 27 වැනිදා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් නුවරඑළියේදී රැස්වී මේ පිළිබඳ අවසන් තීරණය ගන්නා බව රාධාක්‍රිෂ්නන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝගනේෂන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පී. දිගම්බරම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික පෙරමුණ සහ වී. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ සහ පක්ෂ නියෝජනය වෙයි.

නයන තරංග ගමගේ