News

ඔලුවිල් හි වෙරළ ඛාදනයට මාස 4කින් විසඳුම්

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල භූමිය ආශ්‍රිතව ඇතිව තිබෙන වෙරළ ඛාදන තත්ත්වය හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාල භූමිය ආරක්‍ෂා කිරීමේ කටයුතු මාස 4ක් ඇතුළත නිම කරන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.

2008 වසරින් පසු ඔලුවිල් ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවන වෙරළ ඛාදනයට හේතු වී ඇත්තේ ඔලුවිල් හි ඉදිකළ වරාය බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාල භූමිය ද දැඩිලෙස වෙරළ ඛාදනයට ලක්ව ඇති අතර වෙරළ ඛාදනය හේතුවෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය මුහුණ පා ඇති මේ තත්ත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පැලැස්තර විසඳුම් යොදමින් සිටින බවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

මෙම වෙරළ ඛාදනය පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති අතර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ උපදෙස් මත මේ සඳහා අවශ්‍ය මුදල් වෙන කර ගෙන අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.

රුපියල් මිලියන 16යක මුදලක් මේ සඳහා වියදම් කිරීමට බලාපොරොත්තු වන අතර මේ ස්ථානය ආරක්ෂා කිරීමේ කටයුතු මාස 04කින් පමණ නිම කිරීමට බලාපොරොත්තු වන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි