News

කටුවන පොලීසියට එරෙහි විරෝධතාවය පාලනය කරන්න ප්‍රදේශවාසීන්ට කදුළු ගෑස්

කටුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලීසිය විරෝධය පල කරමින් ඇති වූ නොසන්සුන්තාවයත් සමග පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කටුවන බෙංගමු කන්ද ප්‍රදේශයේ නීති විරෝධි මත් පැන් පෙරීමේ ස්ථානයක් ඇති බවට එම ස්ථානය පෙන්වීමට යැයි පවසා එහි රැගෙන ගිය පුද්ගලයාට පොලිසිය පහර දීමක් සිදු වූ හෙයින් එම පහර දීමෙන් පසු එම පුද්ගලයා මිය ගොස් ඇති බව පවසමින් කටුවන පොලිසියට ජනතාව මෙලෙස විරෝධය දක්වා තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාල පුද්ගලයා මාර්ගයේ වැටී සිට ඇති අතර කිසිදු පහරදීමක් සිදු නොවූ බවත්, පොලීසිය මැදිහත්වී එම පුද්ගලයා රෝහල් ගත කළ බවයි.

එහිදී මෙලෙස මියගියේ වයස අවුරුදු 50ක් වූ පුද්ගලයෙක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් පිරිසක් කටුවන පොලීසිය ඉදිරිපිට රැස්වී නොසන්සුන්කාරි ලෙස හැසිරී ඇති අතර පොලීසියට ගල්වලින් පහරදී මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධතාවයේ ද නිරත වී තිබෙනවා.

එම පහරදීම් වලින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් වලස්මුල්ල රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සමතයට පත් කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් රැසක් කටුවන පොලිසිය වෙත ඊයේ රාත්‍රීයේ පැමිණ තිබෙනවා.