News

කරාපිටිය රෝහලේ මියගිය සිව්දරු පියෙකුගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට අනුව

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරු පියෙකුගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට අනුව පැය 24 ක් ඇතුළත සිදුකරන ලෙසට මරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පොලීසිය නියෝග කර තිබේ.

දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආදාහනය සිදුකරන ලෙසට මරණ පරීක්ෂකවරයා නියෝග කළේය.

මෙම පුද්ගලයාගේ පුත්‍රයෙකු කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්වු අයෙකි.

කෙසේ වෙතත් පසුව කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

මෙම පුද්ගලයා ඔහුගේ පියා දැකබලා ගැනීම සදහා රෝහලට පැමිණ ඇති අතර, මේ හේතුවෙන් මීට පෙර පියාද කොරෝනා පරීක්ෂණයකට ලක්කෙරිණි.

එම පරීක්ෂණයේදී පියාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මියයාමෙන් අනතුරු කෙළ හා සෙම් සාම්පල පරීක්ෂාව සදහා යොමු කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ හදිසි මරණ පරීක්ෂකවරයා පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් උපදෙස් මත ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24 ක් ඇතුළත සිදුකිරීමට තීරණය කළේය.

ඒ අනුව ආදාහනය කටයුතු අද පෙරවරු 10.00ට සිදුකිරීමට නියමිතයි.