News

කළුතර ලුණු වතුරට ජල බිලෙන් සහනයක්

කළුගඟේ ජලයට ලවණ මිශ්‍රවීම හේතුවෙන් කළුතර, බේරුවල, දොඩංගොඩ, වාද්දූව හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 72,000ක් මුහුණදී සිටන පානීය ජල ගැටලුවට සහනයක් ලෙස ජල බිල්පත් කිසියම් ප්‍රතිශතයකින් කපාහැරීමට කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊයේ (26 වැනිදා) සිය අමාත්‍යාංශයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා සමග එක්ව පවත්වන ලද මෙම මාධ්‍ය හමුවේදී වාසුදේව ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනතාවට පිරිසුදු සෞඛ්‍ය සම්පන්න ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලය බැඳී සිටින බවත්, මේ වන විට ලුණු ගැටලුව හේතුවෙන් එම ගිවිසුම බිඳවැටී ඇති බැවින් ජනතාවට සහනයක් ලබාදීම අනිවාර්යය විය යුතු බවයි.

රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන්ගේ වගකීම කළ හැකි උපරිම සහනය ලබාදීමට තමන් මේ වන විටත් අදාළ නිලධාරීන් සමග කටයුතු කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා දුගී ජනතාවට මෙම ගැටලුව හේතුවෙන් පානීය ජලය මිලදී ගැනීම සිදුව ඇති බවද පවසා සිටියේය.

දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ලෙස ජයන්ත සමරවීර ජනතාවට සහන දිය යුතු බවට තමන් වෙත දිගින් දිගටම කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම තීරණය ගත් බවද වාසුදේව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.