News

කිලෝග්‍රෑම් 15 ක පීඩන බෝම්බයක් මුලතිව්වලින් හමුවෙයි

මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි කිලෝග්රැම් 15 ක් පමණ බරැති පීඩන බෝම්බයක් ඊයේ (09) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි. මුලතිව් පොලිසිය පැවසූවේ ගෙවත්තක් පිරිසිදු කිරීම සිදුකරන අවස්ථාවේ අදාළ බෝම්බය දැක අනතුරුව ග්‍රාම සේවක හරහා පොලිසිය දැනුවත් කොට ඇති බවයි.

මුලතිව් පොලිසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ බෝම්බය ‍ගොඩගත් බවයි. ගොඩගත් බෝම්බය අධිකරණ නියෝග යටතේ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කළ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ වසර 27 කට පසුව අදාළ ඉඩම් අයිතිකරුවන් ඉඩම්වෙත පැමිණ ඇති අතර,අනතුරුව අදාළ ඉඩම් එළි කිරීම සිදුකොට ඇති බවයි.
පොලිසිය පැවසූවේ අදාළ බෝම්බය එල් ටි ටි සංවිධානය විසින් යුධ කටයුතු වෙනුවෙන් සකස් කළ බෝම්බයක් වන බවට සැක පළ කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය