News

කුකුළු මව් සතුන් ආනයනයට සීමා

කුකුළු පැටවුන් ජනිත කරවීම සඳහා වසරකට ආනයනය කරන මව් සතුන් සංඛ්‍යාව 85000 ක් දක්වා සීමා කිරීමට තීරණය කර ඇතැයි පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පවසයි.

ඉකුත් වසරේ මව් සතුන් එක් ලක්ෂ තුන් දහසක් ආනයනය කර ඇති බවද ඇමැතිවරයා කියයි.

අසීමිත ලෙස මව් සතුන් ආනයනය කිරීම නිසා කුකුළු පැටවුන් ගහනය සේම බිත්තර නිෂ්පාදනය වැඩි වන බවත් මේ නිසා කුකුළු පැටවුන්ගේ මිල අඩුවීමට බලපෑම් එල්ල වන බවත් හෙතෙම කියයි. කුකුළු නිෂ්පාදන කටයුතු සිදු කරන ප්‍රධාන සමාගම් 12 ක් මව් සතුන් ආනයනය කරයි.

ආනයනය කරනු ලබන මව් සතුන්ගේ කාලය දින 80 ඉකුත් වූ පසුව එම සතුන්ගේ පැටවුන්ගේ සෞඛ්‍ය ගැටලු ඇතිවන බවට බිත්තර නිෂ්පාදකයින් ඇමැතිවරයා හමුවී ඊයේ (18 වැනිදා) කියා සිටියහ.

මෙහිදී ඇමැතිවරයා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිරෝෂන ගමගේට කියා සිටියේ සත්ව අභිජනන මධ්‍යස්ථාන ඉදිරියේදී නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.

සාලිය කුමාර ගුණසේකර