කොරෝනා අස්සේ කහ ජාවාරමක්
කොළඹ වරායේ සිරවී තිබූ කහ කන්ටේනර් 26ක තිබූ කහ ටොන් 400ක් වෙළෙඳපොළට මුදා හැරීමෙන් පසු එම කහ වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක මෙම කහ ගබඩා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑමයක් රුපියල් 2000කට අලෙවි කරමින් අධික ලාභයක් ලැබීමට මෙම ජාවාරම්කරු උත්සාහ දරා ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එම ගබඩාව වටලන විට කිලෝග්‍රෑම් තිහේ බරට අසුරන ලද කහ සහිත උර පන්සියයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සකස් කර තිබුණි.
සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ කහ කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 400කටය. මෙම ගබඩා හිමිකරු රුපියල් 2000 බැගින් කහ කිලෝග්‍රෑමයක් අලෙවි කිරීමේදී එක් කන්ටේනරයකින් රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් ලබා ගැනීමට උත්සාහ දරා ඇත.
කොවිඩ්-19 ව්‍යාප්ත වීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවූ කාලය තුළ කහ හිඟයක් දිවයින තුළ මතුව තිබුණි. එම කාලය තුළ කහ කිලෝග්‍රෑමයක මිල රුපියල් 6000ක වැනි මුදලකට ඉහළ ගොස් තිබුණි.
උදයජීව ඒකනායක
