News

කොරෝනා මෙහෙයුමෙන් වැලිකඩ සහ බණ්ඩාරගම පොලිසිය කට්ටි පනියි

කොරෝනා රෝගීන් සිටින ස්ථාන ඇතොත් ඒ සම්බන්ධව දැනුම් දීමට විශේෂිත අංක ලබාදී තිබේ.

එහෙත් එම අංකවලට ඇමතීමෙන් අනතුරුව ප්‍රතිචාරයක් නොමැති නිසා ඔවුන් ‘අරුණ’ ට කතා කොට පැවැසුවේ මේ සම්බන්ධව කළ හැකි යමක් ඇත්නම් ඊට මැදිහත් වන ලෙසය.

ප්‍රථමයෙන්ම අප වෙත ලැබුණු දුරකථන ඇමතුමෙන් කියැවුණේ රාජගිරිය, බුත්ගමුව පාර, පෙරේරා මාවතේ සුඛෝපභෝගී මහල් නිවාසයක ජර්මනියේ සිට පැමිණි අයකු සැඟව සිටින බවත් අදාළ අංක දැනුවත් කළද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවකි. එසැණින් අප එම ප්‍රශ්නයට අදාළ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇමතුවෙමු. ඔහු පවසා සිටියේ කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට යන්නේ වෛද්‍යවරුන් සමග බවයි.

එසේම කොරෝනා වෛරසය පිළිබඳව දැනුමක් ඔවුන්ට නොමැති නිසා එය මහජන සෞඛ්‍ය පරීක්ෂකටද දන්වන ලෙස පැවැසීය. ඉන් අනතුරුව අප පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර අමතා එහි කඳවුර භාරව සිටින සහකාර පොලිස් අධිකාරී කේශර රත්නවීර දැනුවත් කිරීමට පියවර ගත්තෙමු. ඉන් පැයකට අනතුරුව සියලු විස්තර සොයා බලා අප හට දැන්වූයේ අවශ්‍ය කටයුතු සිදුකරන බවකි. මීළඟ දුරකථන ඇමතුම අපට ලැබෙන්නේ අළුබෝමුල්ල නිවසක විදෙස්ගතව සිට පැමිණි අයකු සිටින බවකි. අදාළ අංකයත් දැනුවත් කළද පොලිසිය ඒ පිළිබඳ අධීක්ෂණය කර නොමැති බව ඇමතුම ලබා දුන් තැනැත්තා අප හා පැවැසීය.

බණ්ඩාරගම පොලිසියෙන් අප මේ පිළිබඳ කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ එම ප්‍රදේශය පාණදුර දකුණ පොලිසියට අයත් බැවින් එයට දන්වන ලෙසයි. බොහෝ වේලාවක් දුරකථනයේ රැඳී සිටි අප එම නිවසේ ලිපිනය ඔවුන්ට පැවැසුවද පිළිතුරු දුන් නිලධාරියා කියා සිටියේ අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මෙම විස්තරය පවසන ලෙසයි. අප එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙ අංකය ඉල්ලා සිටි විට බණ්ඩාරගම පොලිසියෙන් එය ඉල්ලා ගන්නා ලෙස පැවැසුවේ ඇමතුම නිමා කරමිනි.

‌මේ පිළිබඳ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු පැවැසුවේ එම පුද්ගලයා සොයා විශේෂ පොලිස් කණ්​ඩායමක් එහි යවන බවය. එවැනි අයකු වෙතොත් නොපමාව නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බවට ඔහු අප වෙත ඉතා කාරුණිකව පොරොන්දු විය. පොලිසිය විසින් ජනතාවගේ මෙම පැමිණිලි නොතකා හැරි නිසා පොලිස් නීති කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ කිසිදු නිලධාරියකු මේ සම්බන්ධව ක්‍රියා කිරීමට මැළිවන බවට හැඟේ නම් එම දුරකථන සංවාදය පටිගත කර තමන්ට ලැබීමට සලස්වන ලෙසටය. එබඳු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවැසීය.

කොරෝනා වෛරසය ජාතික ව්‍යසනයක් බවට පත්වී තිබෙන මේ මොහොතේ සැවොම එක්වී අපගේ රට ජනතාව බේරා ගැනීමට කැපවී කටයුතු කළහොත් මෙම වෛරසය මෙරටින් තුරන් කිරීමට අසීරු නොවන බව ‘අරුණ’ අපගේ විශ්වාසයයි.

 

හේමන්ත ලියනපතිරණ