කොරෝනාවලට ආයුර්වේදයේ ප්‍රතිකාර නැහැ
කොරෝනා ඇතුළු වෛරස් රෝග සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාරයක් නොමැති බව බොරැල්ල ආයුර්වේද රෝහලේ නේවාසික ප්‍රධාන වෛද්‍ය නිලධාරී ධනපාල හෙට්ටිආරච්චි මහතා ‘අරුණ’ ට පැවැසීය.
කොරෝනා වෛරස් රෝගයට ආයුර්වේදයේ ප්‍රතිකාර පවතින බවට ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් සහ සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් ඒවාට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය.
කොරෝනා වෛරස් රෝගයට පෙරුම්කායම්, සුදුලූණු, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට වැනි ඖෂධ ප්‍රතිකර්මයක් වන බවට එලෙස අසත්‍ය ප්‍රචාර සමාජය ඔස්සේ පැතිරෙන බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය.
නමුත් පෙරුම්කායම් ඇතුළු එම ඖෂධවලින් සත්‍ය වශයෙන්ම සිදුවනුයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන ශ්‍රමතාව(ප්‍රතිශක්තිකරණය) ආරක්ෂා කිරීම පමණක් වන බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරී ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා පැවැසීය.
ඉන්දියාවෙන් තොග වශයෙන් ආනයනය කරනු ලබන පෙරුම්කායම් පවුඩර් සහ ඉටි පෙරුම්කායම් විවිධ ආකාරයෙන් ජනතාව භාවිත කළද එමගින් කොරෝනා වෛරසයට බලපෑමක් කළ හැකි බව තහවුරු වී නැත.
පෙරුම්කායම් පවුඩර් ආහාරපානවලට භාවිත කරන බවත්, ඉටි පෙරුම්කායම් කසායන් සඳහා භාවිත කරන බවත් සඳහන් කළ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පෙරුම්කායම් ගුළි අත්වල ගැට ගැසීම තුළින් ක්ෂුද්‍ර ජීවීන් පලනය කිරීමට පිටිවහලක් වන බව පැවැසීය.
ඉෂාර රත්නකාර
