කොවිඩ් බෙහෙත් ලොව පුරා සමානව බෙදන්න
කොවිඩ්- මර්දනය කිරීම සඳහා අනාගතයේදී නිෂ්පාදනය කරනු ලබන එන්නතක් හෝ වෙනත් ඖෂධයක් ලොව සියලුම රටවලට සමාන අයුරින් බෙදී යා යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත කරගෙන ඇත.
පසුගිය අප්‍රේල් 20 වැනිදා මෙම යෝජනාව මහා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මෙක්සිකෝව විසිනි. එම යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදයේද සහාය සහිතව සම්මත කෙරී තිබේ.
මෙම යෝජනාව හමුවේ මහා මණ්ඩලයේ සාමාජික රටවල් 193ම නියෝජිතයන් කොවිඩ්-19 එන්නතක් හෝ ඖෂධයක් සමාන සහ කාර්යක්ෂම අයුරින් අනාගතයේ ලොව පුරා සියලුම ජනතාවට අත්පත් කරගත හැකි අයුරින් විධිමත් ප්‍රවේශයක් නිර්මාණය කරගත යුතු බවට එකඟතාව පළකර ඇත.
එසේම කොවිඩ්-19 වෛරසය වැළැක්වීමට හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ, පරීක්ෂණ කට්ටල, වෛද්‍ය සැපයුම් සහ වෙනත් ඖෂධ විනිවිද භාවයකින් යුතුව සියලුම රටවලට ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතු බවට සියලුම රටවල් එකඟතාවට පැමිණ තිබේ.
නයන තරංග ගමගේ
