News

කොවිඩ් මඬින්න ජපානයෙන් ඇ.ඩො. මිලියන 12ක්

මෙරට කොවිඩ්-19 වංසගතය මර්දනය කිරීම සඳහා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන දොළහක් පිරිනමා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 මර්දනය කිරීමට ආධාර අවශ්‍ය මිත්‍ර රටවල සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා සංවිධාන කිහිපයක් සමග එක්ව මෙලෙස ආධාර ලබාදෙන බවයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලින් ලැබුණු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් සංක්‍රමණිකයන් සඳහා වූ අන්තර්ජාතික සංවිධානයෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් 422500ක්, අන්තර්ජාතික රතුකුරුස සංවිධානය සහ රතු අඩසඳ යන සංගම්වලින් ලැබුණු ඇමෙරිකානු ඩොලර් 25,000ක් මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

කොවිඩ්-19 මර්දනය කිරීමට අමතරව වෙනත් ආර්ථික සහ සමාජයීය අවශ්‍යතා සපුරාගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට මෙම ආධාර උපයෝගී කරගත හැකි බව ජපානය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

නයන තරංග ගමගේ