News

කොළඹ නගර සභා ආදායමට නාගරික අධිකාරිය කෙළ හලයි

නාගරික සංවර්ධන පනත යටතේ පවරා දී ඇති බලතල උපයෝගි කර ගනිමින් කොළඹ නගර සභාවට අයත් වාණිජ බලතල සියල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.

කොළඹ නගර සභාවට අයත් වාණිජ බලතල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට සැලසුම් කොට ඇත්තේ 2019-2030 දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත කොළඹ වාණිජ නගර සැලැස්ම හරහාය.

කසළ බැහැර කිරී‍මේ ස්ථාන යෝජනා කිරීම, යෝජිත මාර්ග සහ ගොඩනැගිලි සීමාවන් නියම කිරීම, වීදි රේඛාවන් හෝ ගොඩනැගිලි රේඛා සඳහා අනුමැතිය ලබාදීම, රථ ගාල් කිරී‍ම් ස්ථානවලින් මුදල් අය කිරීම, අනාරක්ෂිත ගොඩනැගිලි ඉවත් කිරීම යන බලතල පමණක් නොව, මහ නගර සභා ආදායමට සෘජුවම බලපාන වෙළෙඳ දැන්වීම් පාලනය හා ප්‍රදර්ශනය කිරීම වැනි බලතලද නාගරික සංවර්ධන අධිකාරියේ පාලනයට යටත් කර ගැනීමට සැලසුම් කොට ඇති බවද වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී කොළඹ මහ නගර සභා විපක්ෂ නායක ඒ. මන්සිල් ප්‍රකාශ කළේ අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් කොළඹ නගර සභාවේ පාලනය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය විය හැකි බවය.

කොළඹ මහ නගර සභාව සතු සියලු වාණිජ බලතල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම පිළිබඳව පසුගිය 10 වැනි දින කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ද, ගොවි කටයුතු හා පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන්ද සම්බන්ධ වී පැවැත්වූ වැඩමුළුවකදී කොළඹ මහ නගර සභාව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරු මෙයට දැඩි විරෝධය පළ කළ බවද කොළඹ මහ නගර සභා විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

රංජිත් ගුණවර්ධන