News

කෝටි 24 චෙක්පත් අගරු වෙයි

 

පසුගිය වසරේ (2020) දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත අගරු වූ චෙක්පත් සංඛාව 6,878 ක් බවත් එහි වටිනාකම කෝටි 24ක් බවත් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන ඇත.

මේ අනූව කඩිනමින් මුදල් අයකර ගැනීමට කටයුතු කරන මෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව සඳහන් ය.

එසේම කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අයකර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙන බවද කෝපා කමිටුව අනාවරණය කරගෙන ඇත.

එසේම 2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරින ලද බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 වැනි දිනට ලබා දී ඇති හිඟ බදු විස්තරය අනුව අය කල හැකි හිඟ බදු මුදල රුපියල් කෝටි 14,450 ක් පමණ ( රු.144,537,364,916 ) වූ බවද කාරක සභාවේදී හෙළිකරගෙන තිබේ.

එම කරුණු හෙළිවූයේ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් වූ අවස්ථාවේ දීයි.