News

කෝවිඩ් වැඩි වුණොත් උත්සව අවලංගුයි

කෝවිඩ් – 19 වෛරසය දැඩි ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත් ඉදිරියේදී පැවැත්වෙන උත්සව නිමිත්තෙන් සිදු කරන මහජන ඒකරාශීවීම් නැවැත්වීම සඳහා අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

ඇමැතිවරිය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එවැනි තත්ත්වයකට රට යාමට ඉඩ නොදී රජයක් ලෙස ගත යුතු සෑම පියවරක්ම ගෙන ඉතාම වගකීමෙන් කටයුතු කරන බවද ඇමැතිවරිය කීවාය.

මෙම වෛරසය ලංකාව තුළ ජීවත් වූ පුද්ගලයකුට වැලඳී තිබෙන බැවින් රෝගය මැඬපැවැත්වීමට සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බවද ඇමැතිවරිය සඳහන් කළාය.

එමෙන්ම මැති ඇමැතිවරුන්ගේ විදෙස් ගමන්ද නැවැත්වීම සඳහා කටයුතු කරන බවත් ඇය පවසා සිටියාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේද කීවාය.

‘‘අනිවාර්යයෙන්ම විදේශ රටක සිට එන සියලු මගියෙක්ම දින 15ක නිරෝධායනයට ලක් විය යුතුමයි. එහෙම නැතුව ගුවන්තොටුපොළ තුළ යකා නටලා හරියන්නෙ නැහැ.

අපිට මේ තත්ත්වය තුළදී තද තීන්දු ගැනීමට සිදුවනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් හොයාගත්ත කෝවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නිවසේදීම රඳවා තබා ගනිමින් නි​රෝධායනය කරනවා.’’

 

චාමර පල්ලේගෙදර