News

කෝවිඩ්වලට එරෙහි රජයේ ක්‍රියාමාර්ග මොනවා දැයි එජාප නායකයා අසයි

කෝවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි වහා ජනතාවට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටියි.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

කෝවිඩ් 19 වෛරසය මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් (Pandemic) බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශයට පත් කර ඇත.

ඇමරිකාව, යුරෝපය සහ ආසියානු රටවල් ඊට මුහුණදීම සඳහා අනුගමනය කරන ක්‍රමවේද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ලොව ඇතැම් දියුණු රටවල් පවා මෙම වෛරසයට මුහුණදීම සඳහා තම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කොට ඇත.

මෙම තත්ත්වය මත කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. පාසල් දරුවන්ට නිවාඩු ලබාදීම එක් යහපත් පියවරක් වුවත්, කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි වහා ජනතාවට හෙළි කළ යුතුයි.’