ගානියා රැඳවූ වැලිකඩ කුටියෙන් හලෝ 2ක් හමුවෙයි
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ තිබී ජංගම දුරකථන දෙකක් බන්ධනාගාර නිලධාරීන්අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් වෙත ලද තොරතුරක් මත විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා පෙරේදා (18 වැනිදා) පස්වරුවේ කළ වැටලීමකදී දුරකථන හමුවී තිබේ.
කාන්තා බන්ධනාගාරයේ වයි වාට්ටුවේ ගානියා බැරිස්ටර් සමග කාන්තාවන් පනහක් පමණ රඳවා සිට ඇති අතර එම පිරිස කණ්ඩායම් වශයෙන් ගොඩනැගිල්ලේ තැනින් තැන වෙන්කර රැඳී සිට ඇත.
එවැනි එක් කාන්තාවන් කණ්ඩායමක් සමග ගානියා බැනිස්ටර් රැඳී සිටි කොටසේ රෙදි අතරේ සඟවා තිබී ජංගම දුරකථන දෙක හමුවී ඇත.
ගානියා බැනිස්ටර් සිරගෙදර සිටිමින් පිටතට දුරකථන ඇමතුම් ගන්නා බවට ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමකදී දුරකථන සොයාගත් බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා දුරකථන හා එහි වූ සිම් කාඩ්පත් බන්ධනාගාර මූලස්ථානය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු යොදා ඇති බවත් බන්ධනාගාර නිලධාරීහු පවසති.
ජංගම දුරකථන දෙක තමන්ට අයත් බව එහි වූ සිරකාරියක විසින් භාරගෙන ඇති අතර ඇයට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමටත් වැලිකඩ බන්ධනාගාරයට ජංගම දුරකථන දෙක පැමිණි ආකාරය පිළිබඳව විමර්ශනයක් කිරීමටත් පියවර ගෙන ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
