News

ගෝඨා ජනපති වූ පසු අගමැති මහින්දයි – මහින්ද අමරවීර

එළැඹෙන ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර, එම තනතුරට මහින්ද රාජපක්ෂ පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

මහ මැතිවරණය පවත්වන තෙක් ගෝඨාභය රාජපක්ෂට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සමග කටයුතු කළ නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගෙන මෙලෙස නව අග්‍රාමාත්‍යවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත්කර ගන්නා බවද අමරවීර මහතා පැවැසීය.

මහින්ද අමරවීර මේ බව පැවැසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ රජයෙන් සැකසෙන මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ආණ්ඩුවට, මන්ත්‍රීවරුන් 120කගේ පමණ සහය ලැබෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

චමින්ද සේනාරත්න