News

චන්ද්‍රිකා සජිත් සන්ධානගත වෙයි

එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබාදෙන දේශපාලන පක්ෂ ඒකාබද්ධව ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අද (1 වැනිදා) යළි ස්ථාපිත කෙරේ.

මෙම පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද එක් වන අතර මීට අදාළව දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමට එළැඹීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද උදේ 8.30ට සිදුකෙරේ.

නව පෙරමුණ ස්ථාපිත කරමින් සාමාජික පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට නියමිතය. අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, අර්ජුන රණතුංග යන දේශපාලන පක්ෂ නායකයන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කළ නව සංවිධානය වෙයි. අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිල නිවසේදී ඊයේ (31 වැනිදා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු තිහක් පමණ එක්ව සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එයට එක්ව නොසිටි බවද වාර්තා වෙයි. මෙහිදී හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත්තේ ආසන සංවිධායකවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම මත තමන් මෙම පියවර ගන්නා බවයි. දේශපාලනයට පිවිසීමේ තීරණයක් නොතිබුණු බවද ඇය ප්‍රකාශ කළාය.

ජනාධිපතිවරණයේදී ප්‍රතිවරණ ආචාරක රැලි ඇමැතීමට ඇය සහභාගි වනවාද නැත්ද යන්න මෙහිදී කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වෙයි.

උදයජීව ඒකනායක

නව දේශයක දේශපාලන ගිවිසුම ජනගත කිරීම කොළොඹ සිට සජීවීව

Posted by Api UNP on Thursday, October 31, 2019