News

ජනපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්

සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කළ අවස්ථාවේ දී මේ බව සඳහන් කරයි.

ඒ සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කර ඇති ජනාධිපතිවරයා, ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් රුවන්වැලි සෑය අභියසදී මෙන්ම ජනාධිපති ධූරයේ වැඩභාරගනිමින් තමා ප්‍රකාශ කළ පරිදි මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම එක සිතින් අපේක්ෂා කරන බව බවද පවසා ඇත.

සමස්ත මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කර ඇත.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය අවධාරණය කර තිබේ.

පැවති පාර්ලිමේන්තුවරටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා ඇත්තේ, වෛරසය මර්දනයට සහ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කිරීමේ දී නව චින්තනයක් රට තුළ ක්‍රියාත්මක බව දිස් වෙන බවයි.

එය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට “සෞභාග්‍යයේ චින්තනය” මැයෙන් එකතුවිය යුතු උප නියැදියක් වශයෙන් ගතයුතු බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ පවසා ති‍බේ.

කොරෝනා වෛරසය මර්දනයේදී ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළෙන් ලොව සෙසු රටවලට ද පාඩමක් උගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා ඇත.

රටේ තරුණ පරපුර සහ විවිධ කණ්ඩායම් නව නිර්මාණ රැසක් සිදුකර ඇති බවත්, එය ඉදිරි අනාගතයට මඟ පෙන්වන ස්වර්ණමය අවස්ථාවක් බවත්, ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය නිරන්තරයෙන් ශක්තියක් වන බවත් උන්වහන්සේ සඳහන් කර තිබේ.

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමට ඉවහල් වන කරුණු 12ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

මෙවර වෙසක් උත්සවය විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිවරු පෙන්වා දී ඇත.

ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය වී තිබේ.

යාචක පිරිසට ද උණු බත් කෑමට අවස්ථාව සලසමින් සියලු ජනතාවගේ කුසගින්න නිවීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග මහා සංඝරත්නයේ ප්‍රශංසාවට නිතැතින්ම ලක්වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසා ඇත.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටි තිබේ.