News

ජයග්‍රහණයෙන් පසු කරන දේ ගෝඨාභය කියයි

ජයග්‍රහණයෙන් පසුව වැඩ කරන, විනය ගරුක ප්‍රතිඵල ගේන, විනිවිධ බාවයෙන් යුතු ආණ්ඩුවක් හදන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා ඒ බැව් පැවසුවේ, කොත්මලේ, පුඬළුඔය නගරයේ ක්‍රීඩංගණයේදී ඊයේ (23) පස්වරුවේ පැවති ජන හමුව අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිය.

“එදා අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා විශාල සංවර්ධනයක් ඇති කළා. අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තෝරාගත්ත වැඩකරන්න පුලුවන් නිලධාරීන්ට ඔවුන්ට තීරණ ගන්න සම්පූර්ණ නිදහස අපි දුන්නා. නමුත් මේ රජය, රාජ්‍ය සේවකයා ගැන කිසිම තැකීමක් ඇති කළේ නෑ. රාජ්‍ය සේවකයාගේ අභිමානය කඩා දැම්මා. රාජ්‍ය සේවකයාට වැඩ කරන්න, නිදහසේ තීරණ ගන්න, දේශපාලන බලපෑම් වලින් තොරව තිරණ ගැනීමේ හැකියාව නැති කළා. දහස් ගණනක් රාජ්‍ය සේවකයින් අභුත චෝදනා නඟල එදා ඔෆ්.සී.අයි.ඩී. එකට අරන් ගියා. වැඩ කරපු සමහර රාජ්‍ය සේවකයින් හිර ගෙට ගියා. ඔවුන් මාරු කරල දැම්මා. නැවතත් අපේ රජයක් යටතේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනව. වැඩ කරන්න හැකි නිලධාරින් අපි පත් කරනවා. ඒ අයට මේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්න ඔවුන්ව අපි නීතියෙන් ආරක්ෂා කරනව. එදා අපි විශාල සංවර්ධනයක් ඇති කළා. විෂේයෙන්ම අපි කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය සම්බන්ධව අපි විශේෂ සැළකිල්ලක් දක්වන කණ්ඩායමක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගොවි ජනතාව වෙනුවෙන් විශ්වාසය තියල තමයි එදා පොහොර සහනාධාරය ලබා දුන්නේ. නමුත් මේ රජය ගොවි ජනතාව වෙනුවෙන්වත්, වැවිලි කර්මාන්තය වෙනුවෙන් වත් කිසිම තැකීමක් ප්‍රමුඛත්වයක් දුන්නේ නෑ. ඒ නිසා තමයි වැවිලි කර්මාන්තය කඩා වැටිල තියෙන්නේ. තමුන්නාන්සේලා දන්නව තේ කර්මානතය අපේ රටේ විශාල කාලයක් ඉඳල විදේශ විනිමය විශාළ ප්‍රමාණයක් ගෙනාපු කර්මාන්තය, විශාල ප්‍රමාණයක් රැකියාවන් සපයපු කර්මාන්තය, ඒ වගේම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තේවතු හිමියන් ජීවත් කරපු කර්මාන්තය, අද ඉතාම අසීරු තත්වයකට පත් වෙලා තිබෙනවා. මේ අයගේ අදූරදර්ශී වැඩ නිසා. අපි නැවතත් මේ රටට කසල තේ ගෙන එන් ඉඩ දෙන්නේ නෑ. අපි රජයේ මැදිහත්වීම තුළ ශ්‍රීලංකාවේ තේ වලට තිබෙන නියම මිළ අපි ලබා දෙනවා.එදා ශ්‍රීලංකාවේ තේ ඉහළම තතවයේ පැවතුනත් දැන් එය තිබෙන්නේ හතරවෙනි තැන. මෙයට රජය වග කියන්න ඕන.වගකීමක් ඇති රජයක් හැටියට අපි රාජ්‍ය අනුග්‍රහය දක්වල නැවතත් අපේ ලංකාවේ තේ වලට සුදුසු ගුණාත්මක බාවයෙන් ඇති තේ වලට සුදුසු තැන ලබා දීල, ලෝක වෙළඳපලේ නිසි තැන ලබා දීල, එයට අවශ්‍ය මිළ ලබා දීම හරහා තමුන්නාන්සේලාට තේ වලට හොඳ මිළක් ලබා ගැනීමට හැකි වෙනවා.”

“අපි තොණ්ඩමන් ඇමතිතුමත් සමග සාකච්ඡා කළා වතු කම්කරුවා ගැන. වතු කම්කරුවාගේ ජීවිතය ඉහළට ගන්නනේ කොහොමඳ කියල අපි සාකච්ඡා කළා. අපි ඔවුන්ට රුපියල් 1000/- ක අවම වැටුපක් ලබා දෙනවා පමණක් නොව ඊට එහා ගිය ජීවන තත්වය ඉහළට ගේන්න, ඔවුන් වතු වලට සීමා කරන්නේ නැතිව ඔවුන්ගේ පවුලේ ආදායම වැඩි කරගන්නා ක්‍රමය, අධ්‍යාපනය දියුණු කරල, පාසල් දියුණු කරල ඔවුන්ට අවස්ථාව ලබා දීල ඉගෙණ ගන්න දීල, ආර්ථිකයේ වැදගත් ඉහළට සම්බන්ධ වන්න සෘජුවම රැකියා අවස්ථා ලබා ගන්නට පුලුවන් නිපුණත්වයක් ලබා දීම ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේම ජීවන තත්වය ඉහළට ගෙන යන්න සුදුසු ගෙවල් හදන්න අපි ඔවුන් සමග සාකච්ඡා කළා. මේවා මත තමයි අපි එකඟතාවයකට පැමිණියේ අපට සහයෝගය දක්වන්න. අපි අද පොරොන්දු දෙනවනම් දෙන්නේ යම් අරමුණක් දර්ශණයක් ඇතිවයි. අපි ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙන්නට පොරොන්දු වුණේ, ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට පොරොන්දු වුණේ, ඒ වගේම කෘෂි කර්මාන්තය හා සම්බන්ධ කර්මාන්ත වලට බදු සහන ලබා දෙන්නට පොරොන්දු වුණේ ආහාර අතින් අපි ස්වයංපෝෂිත කරන්නටත්, ගොවි ජනතාව ජීවත් කරන්නටත්ය. අපි ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළට ගෙනෙන්නට අවශ්‍ය තාක්ෂණය ගොවි ජනතාවට ගෙන එන්න ඕන. මේ තාක්ෂණය හරහා අපිට පුලුවන් වෙනවා මේ ගොවි ජනතාවගේ ජීවන තත්වය, ඔවුන්ගේ ආදායම ඉහළට ගෙන එන්න. අද ලෝකයේ විවිධ රටවල තාක්ෂණය පාවිච්චි කරලා ගොවි ජනතාව හොඳ ආදායමක් ලබන රැකියාවක් බවට පත්කරලා තිබෙනවා. අපිට අවශ්‍ය හැමදාම දුප්පත් ගොවියෙක් නොවෙයි විවසායකයෙක් බවට පත්වුණ ගොවියෙක් කරන්න. මේවා කරන්නට පුලුවන් ප්‍රායෝගික් වැඩ. අපි එදා තමුන්නාන්සේලාට පොරොන්දු දුන්නනම්, අභියෝග බාර ගත්තනම් ඒ අභියෝග සියල්ලක්ම අපි එදා ඉටු කළා. අපි අභියෝග ජයගත්ත අය. මේ කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගන්න පැහැදිළි ආර්ථික සැළැස්මක් අපි ළඟ තිබෙනවා. අපි ඒ සැළැස්ම අවුරුදු 04 ක පමණ කාලයක් තිස්සේ මේ රටේ බුද්ධිමතුන්, මේරටේ වෘත්තීකයින්, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් වගේම මේ රටේ ගමත් සමග සාකච්ඡා කරලා, ගම සමඟ පිළිසඳරකින් තුමුන්නාන්සේලාගේ අදහස් ලබාගෙන ඒ අදහස් අනුව තමයි අපි අපේ ප්‍රතිපත්ති මාලාව සකස් කළේ. අපි වග කියන්නේ ජනතාවට. අපි ඉදිරිපත් කරන ආර්ථික සැළැස්ම හරහා ජනතාව කේන්ද්‍ර කරගෙන ජනතාව බල ගන්වල සෑම මට්ටමකම ඉන්න ජනතාවට සමාන අයිතිවාසිකමක් දීල පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් හරහා අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අපි ළඟ සැළසුම් තිබෙනවා. අද ලෝකයේ ඉතා සීඝ්‍රයෙන් දියුණුවෙමින් තිබෙන ආසියාවේ මේ දියුණුව අපිට පාවිච්චි කරන්න පුලුවන්. අපේ රට විශේෂයෙන්ම බුද්ධිමතුන් ඉන්න රටක්. තරුණ තරුණියන් පුහුණු කරන්න පුලුවන් නිපුණත්වයක් ලබා දෙන්න පුලුවන් තරුණ තරුණියන් කොටසක් ඉන්නව. අපි ඔවුන් බලවත් කරන්න ඕන. ඒ හරහා තමයි අපිට ඔවුන් දියුණු කරන්න පුලුවන්.”

“ ඒ අධ්‍යාපනයේ වැරැද්ද නිසා අද අතරමංවෙලා ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් නිපුණත්වයක් ලබා දෙන්න, ආර්ථිකයට සෘජුවම සම්බන්ධවී හොඳ වේතනයක් ලබා දෙන රැකියාවන් ලබා ගන්නට පුලුවන් වන අයුරු, ඔවුන්ට වෘත්තීය වගේම තාක්ෂණික පුහුණුවක් උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට උසස් පෙළ සමත් සියලුම තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට පුලුවන් වෙන්නට අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනව. විශ්ව විද්‍යලවල ධාරිතාව වැඩි කරල, නව විශ්ව විද්‍යාල හදල, දුරස්ථ අධ්‍යාපනය වැඩි දියුණු කරල, කාර්මික හා තාක්ෂණික විද්‍යාල ඇති කරල ඒ වගේම අතරමං නොවන රැකියාවක් ලැබෙනකම් බලා නොයිඳ සුදුසු පාඨමාලාවන් සකස්කරල අපි අධ්‍යාපනය දීර්ඝ හා කෙටි කාලීනව සකස් කරනව. අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළේ, මේ රටේ ඉන්න සෑම ජනතාවකටම. අපි යුද්ධයක් ආරම්භ කරපු අය නොවේ, යුද්ධයක් අවසන් කරපු අය. යුද්ධය ආරම්භ කළේ විපක්ෂයේ ඉන්න අය. අපට විරුද්ධව ඉන්න අය. කවදාවත් කරන්න බෑ කියපු අවුරුදු 30 ක් තිස්සේ ඇදි ඇදි ආපු ඒ ත්‍රස්තවාදය අවසන් කළ නිසා සිංහල, දමිළ, මුස්ලිම් මේ හැම ජනතාවකටම සාමයෙන්, බියක් සැකක් නැතිව ජීවත් වන්නට වාතාවරණයක් අපි සකස් කළා. අපි එතනින් නවතින්නේ නැතිව සෑම පළාතක්ම දියුණු කළා. අපි උතුරු-නැගෙණහිර ප්‍රදේශ වලට විශාල දියුණුවක් ලබා දුන්න. අද උතුරුකරයේ, නැගෙණහිර දකින ඒ සංවර්ධනය සියල්ලක්ම අපේ රජයන් යටතේ කරපු ඒවා. අප් එදා ත්‍රස්තවාදි කියල හඳුන්වපු කණ්ඩායම පුනරුත්තාපනය කරල, ලොකයේ වෙන කොහෙවත් නොකරපු ආකාරයට සාර්ථක පුනරුත්තාපන වැඩ පිළිවෙලක් කරල ඒ අය සමාජගත කරල ඒ අයට රැකියාවන් ලබා දීල සිවිල් ආරක්ෂක බලකායන්ට ඔවුන් බන්දගෙන අපි ඔවුන් නැවතත් ඒ අන්තවාදී පැත්තට නොයන ආකාරයෙන් හැදුව. අපි එදා ඒ තරුණයන්ට පොලීසියට බැඳෙන්න අවස්ථාව ලබා දුන්න. නමුත් ඒ පළාතේ ඉන්න දේශපාලනඥයන්ගේ බලපෑම නිසා එදා ඔවුන් බැඳුනේ නෑ. අපි මේ සියල්ලක්ම කළේ මේ රටේ හැම ජන කොටසකටම මේ රටේ ජීවත්වෙන්නට පුලුවන් වාතාවරණයක් හදන්නට. නමුත් අපි දන්නව අපේ විරුද්ධවාදීන් බොරු ප්‍රචාර ගෙන ගියා. එදා සමහර කොටස් එවා විශ්වාස කරල ඒ කරගත්ත වැරද්ද නිසා අද අපේ රට අවුරුදු ගාණකින් පස්සට ගියා. එදා අපි කරගෙන ආපු සංවර්ධන කටයුතු සියල්ලක්ම මේ අය නැවැත්වූවා. මේක නිසා තමයි මේ ආර්ථිකය කඩා වැටුණේ. අපිට විතරයි පුලුවන් වෙන්නේ පැහැදිළි දැක්මක් තිබෙන, පැහැදිළි සැළැස්මක් තිබෙන වැඩ කරන්න පුලුවන්, වැඩ කරල පෙන්නපු අපට විතරයි මේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් වෙන්නේ. මේ රජයේ සියලු දෙනාම අසාර්ථක වෙලා තියෙනව. ඒ අයට සම්පූර්ණයෙන් වැඩ කරන්න පුලුවන් කියල පෙන්නල නෑ. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. මට ලැබුණ සෑම වගකීමක්ම මම 100% ක්ම ඉෂ්ඨ කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මම ආරක්ෂක ලෙකම් වශයෙන් පත් කළා. මේ රටේ අවුරුදු 30 ක් තිබුණ යුද්ධය මම අවසන් කළා. ඊට පසුව එතුමා මම නාගරික සංවර්ධන අධිකාරයේ ලේකම්වරයා කළා. මම කොළඹ නගරය ආසියාවේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන නගරය බවට පත් කළා. එදා ඒ නගරයේ තිබුණ පැල්පත් ඉවත් කරල තට්ටු නිවාස ඇති කළා. ඒ එක තට්ටු නිවාස ඒකකය, ගෙදරක මිළ ඒ දවස්වල මිලියන තුනයි. ඒවා නොමිලේ ලබා දුන්න. මේ තට්ටු නිවාස වලට ගිය පවුල් එදා මේ රජයේ දැන් ඉන්න ඇමතිවරු කිව්වා විරුද්ධව මේ තමුන්නාන්සේලා මෙතනින් ඉවත් කරන්න හදන්නේ කියල. නමුත් අපි තමුන්නාන්සේලා සිංහලද, දමිළද, මුස්ලිම්ද කියල බලන්නේ නැතිව ඒ වතුවල හිටිය ඒ ආකාරයෙන්ම මේ තට්ටු නිවාසවල පදිංචි කෙරෙව්වා. මෙන්න මේ වගේ සාධාරණ ලෙසයි අපි ඒ දවස්වල කටයුතු කළේ. ඒ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභාමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවා කියන පොරොන්දුව දෙනවා.