News

ජවිපෙ ප්‍රමුඛ බලවේගයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම අද

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා අද (18 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ පෙරමුණක් ජනාධිපතිවරණයට පෙර නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කර ඇත.

එලෙස නිර්මාණය කරන මැතිවරණ පෙරමුණේ නම සහ ඡන්ද ලකුණ පිළිබඳව සාකච්ඡා කර ඇතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු එය හෙළි නොකිරීමට ජාතික ජන බලවේගයේ නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කොළඹ ගාලු මුවදොර පිටියේ අද (18 වැනිදා) පැවැත්වෙන ජන රැලියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම රැලිය සඳහා දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකින්ම ජනතාව පැමිණීමට නියමිතව තිබේ. ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන රැලියක් ගාලු මුවදොර පිටියේ පවත්වන පළමු අවස්ථාවද මෙය වෙයි.

උදයජීව ඒකනායක