News

තම මත්පැන් හල්වලට මුද්‍රා තබන්නැයි බාර් හිමියෝම ඉල්ලති

ඊයේ (21 වැනිදා) මත්පැන් අලෙවිහල් විවෘත කර විනාඩි පහළොවකින් පමණ නැවත වසා දැමීමෙන් පසුවද ඒවායින් මත්පැන් ගැනීමට දේශපාලඥයන්, උසස් රාජ්‍ය නිලධාරීන්, පාතාල කල්ලි සාමාජිකයන් වැනි කණ්ඩායම්වලින් එලල් වූ බලපෑම් නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මත්පැන් අලෙවිසල් මුද්‍රා තැබූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බලපත්‍ර ලාභීන්ගේම ඉල්ලීම මත මෙම පියවර ගත් බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම මත දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසල් ඊයේ (21 වැනිදා) විවෘත කර සුළු මොහොතකින් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පියවර ගත් බව ඔහු සඳහන් කරයි.

මෙම නියෝගය කඩ කරමින් හොර රහසේ මත්පැන් අලෙවි කරන ස්ථාන සොයා බැලීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. දින 30කට පමණ පසු මත්පැන් අලෙවිසල් පෙරේදා (20 වැනිදා) විවෘත කර තිබුණි.

 

උදයජීව ඒකනායක