නවතම ප්‍රවෘත්ති

තාත්තා සමහර වෙලාවට කියනවා අපිට වඩා දෙව්මිණී තාත්තට ආදරෙයි කියලා… දෙව්මිණී ගැන ගෙදර අය කියන කතා

ආදරය දෙන්නට ද, ලබන්නට ද වාසනාවක් අවැසිය. දෙව්මිණි මේ දෙයාකාරයෙන්ම වාසනාවන්තියකි. ඇය ආදරයට බොහොම කෑදරය. සත්වයින්ගේ මූලික අවශ්‍යතා ලෙස කෑම බීම පැවතියත්, ඇයට ආදරය ඇත්තේ ඒ සියල්ලට ඉහළිනි. ඇයව ජීවත් කරවන ප්‍රධාන සාධකය ආදරයයි. දෙව්මිණි තමන්ට හිතැති අයට ආදරය බෙදන්නීය. එපමණක් නොව, ඇය ද ආදරය ලබන්නීය. මේ දෙව්මිණි සිටින්නේ හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල භාරයේය. දෙව්මිණි සිටින්නේ ඒ පවුලේ දරුවකු මෙනි. ඈ පමණක් නොව, ඇයට තරමක් සම වයසේ සිටින පංචාලි සහ ටික කලකට පෙර මිය ගිය පුංචි බණ්ඩාට ද හිමිවූයේ පවුලේ සාමාජිකයකුට ලැබෙන තත්ත්වයමය. දයානන්ද බෝඹුවල සහ ඔහුගේ බිරිය, අනූෂා විජයන්ති පෙරේරා පමණක් නොව, ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද මේ සද්දන්තයින්ට සලකන්නේ එලෙසිනි.
 
තමන්ටම වෙන් වූ ඉඩමක කල් ගත කරන දෙව්මිණි සහ පංචාලි ඉන් පිටතට යන්නේ පෙරහර රාජකාරිවලට හෝ වෙනත් විශේෂ කටයුත්තක් තිබේනම් පමණි. මේ දෙදෙනාගෙන් තම ආධිපත්‍යය පතුරා රැජිනක සේ සිටින්නේ දෙව්මිණිය. පංචාලි සමග එකටම සිටියාට මොකද, පංචාලි අවධානයට ලක්වීම දෙව්මිණි රුස්සන්නේ නැත. පංචාලිනම් ඕවා තඹයකට මායිම් නොකරන්නීය. ඈ සිටින්නේ ‘කන්න දෙනවනම් අපිට – බොන්න දෙනවනම් අපිට, මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ?’ යන අදහසිනි. දවස පුරා හප හපා ඉන්නට යමක් ලැබේනම්, බඩ පිරෙනවානම් ඇයට ඒ හොඳටෝම ප්‍රමාණවත්ය. අරයාගේ මෙයාගේ ඇඟේ එතෙන්නට, හාදු දෙන්නට නොලැබුණා කියා ඇගේ අමනාපයක් නොවේ.
 
පංචාලි එසේ වූවාට දෙව්මිණි එහි අනෙක් පැත්තය. කන්නට ඕනෑ බව සැබෑය. එහෙත් ඒ සැමට වඩා ගෙදර ඈයින්ගේ ආදරය වටී. කෑමට ගිජු නොවූව ද, ඇයට පෙර ගෙදර ඈයින් පංචාලිට කන්න දුන්නොත් එය ඇයට මහත් මදිපුංචිකමකි. කොයි දේ වෙතත්, ඒ සියල්ල පළමුව ලැබිය යුත්තේ දෙව්මිණිටයි. එමෙන්ම පවුලේ අය තමා ළඟට නොපැමිණ පංචාලි වෙත යාම දෙව්මිණි අනුමත නොකරයි. වෙනත් ඕනෑ කෙනෙකු සමග පංචාලි දහඅට සන්නිය නැටුව ද ඇයට කම් නැත. විය යුත්තේ පවුලේ අයගේ කොයි දේත් ඇයට පමණක් යැයි සහතික වීමයි. එක අතකින් එම පවුලේ අලි මිනිස් සියල්ලන් අතරින් වයසින් බාලයා දෙව්මිණි වීමත් මේ හුරතල් සහ දඟකාර බවට හේතුවක් වන්නට ඇත. මේ තත්ත්වය පවුලේ සියල්ලෝ මනාව හඳුනාගෙන සිටිති. එනිසා ඔවුන් ක්‍රියා කරන්නේ ඊට උචිත ලෙසයි.
 
“මෙයා ටිකක් ආඩම්බරයි. එයා නොකන කෑම එහෙමත් තියෙනවා. ඒ වගේම හැමෝම දුන්නට කන්නෙත් නෑ. එයයි පංචාලියි නෙ දැන් එකටම ඉන්නෙ. දෙන්නා එක තැන ඉන්නෙ. එයාට මුලින්ම කන්න දීලා, පංචාලිට දෙවෙනියට දුන්නත් ආයෙ ළඟට එද්දි දෙවිමිණි ඔරවනවා. ආඩම්බරයි වගේම, මගෙනං මගෙ විතරයි වගේ තමා එයා ඉන්නෙ. වෙන අය ඇවිත් පංචාලිට මොනවහරි දෙන එක එයාට ප්‍රශ්නයක් නෙමේ. ඒත් අපේ පවුලෙ අය එයා ඉන්න තැන පංචාලි ගාවට යනවට, එයාට කන්න දෙනවට දෙව්මිණි කැමති නෑ. ඒ නිසා අපි දෙව්මිණි ඉන්න තැන පංචාලිට කෑම දෙන්න එහෙම යන්නෑ. අපි ළඟ ඉන්නවනං දෙව්මිණිට කන්න ඕනෙත් නෑ. එයාට ආදරේම තමයි ඕනෙ. අපි ළඟ ඉද්දි එයා අලි බලන මාමාව වුණත් ගණං ගන්නෙ නෑ. පංචාලිත් හරිම හීලැයි. අපි එයාවත් අතගානවා කන්න දෙනවා, හැබැයි දෙව්මිණි නැති තැන්වල.”
 
එසේ කීවේ අනූෂා විජයන්ති පෙරේරාගේ බාල සහෝදරයාගේ දියණිය වන බනුලි පෙරේරාය. දෙවිමිණි සහ පංචාලි හොරණට ආවේ පුංචි සන්දියේදීමය. ඉන් පළමුව එහි ආවේ දෙව්මිණිය. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු හයක්, හතක් පමණ විය. ඒ වෙද්දී බනුලිට ද වයස අවුරුදු දහයක්වත් නැත. එනිසා ඔවුන් අතර වයස් පරතරය එතරම් වැඩි නැත. ආ මුල් කාලයේ දෙව්මිණි බනුලිලාගේ නිවසේ ඉදිරිපස දොරින් ඇතුළුව පසුපස දොරින් පිටවීමට පුරුදුව සිටියාය. එය දෙව්මිණිගේ දින චරියාවේ නිත්‍ය අංගයක් විය. පුංචි අමුත්තියට නිවැසියන්ගේ ද විරෝධයක් නොතිබිණ. ගෙට රිංගීමේ ඇගේ ප්‍රධාන අරමුණ වූයේ බනුලිගේ පියා, නන්දන පෙරේරා වෙත යාමයි. එකල බනුලි සහ ඇගේ සොයුරු, ගමිදු සමග ඔවුන්ගේ පියා සමීපව සිටිනවාට දෙව්මිණි ඉරිසියා කළාය. එය හුණුවටයේ කතාව මෙනි. හුණුවටයේ කතාවේදී ගැටලුව වූයේ දරුවකුගේ අයිතියයි. මෙහිදී තිබුණේ පියාගේ අයිතිය වෙනුවෙන් සටනකි. බනුලි සහ ගමිදු පියාගේ අතකින් තමන් දෙසට අදිද්දී දෙව්මිණි කළේ අනික් අත හොඬයෙන් පටලා තමා වෙත ඇදීමයි. කෙසේ වුවද අලි පැංචියගේ හිත නොරිදවා සිටින්නට තරම් අක්කා මලෝ කාරුණික වූහ. නන්දනලාගේ නිවසට රිංගන පුරුද්ද දෙව්මිණි වෙතින් තුරන් වූයේ ඇයට වසර හයක් පමණ උඩවලවට වී සිටීමට වූ නිසාය. ඊට හේතුව පුරුද්ද අමතක වීම නොවේ. වසර හයක් ගතව නැවත එද්දී නිවසට ඇතුළු වීමට නොහැකි තරම් ඇගේ ඇඟ පත වැඩී තිබීමයි. බනුලි පෙරේරා පැවසුවේ දෙව්මිණි සහ පංචාලි උඩවලවට ගිය ද ඔවුන් සමග පැවති බැඳීම එලෙසම පැවති බවයි.
 
රෂ්නිකා ලියනගේ
 
තොරතුරු – බනුලි පෙරේරා
 
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න