තෙල් සමිතියේ සේවකයනට ප්‍රතිලාභ ගෙවා නැහැ
සේවක සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ගෙන ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක සකසුරුවම් සමිතිය සතුව රුපියල් කෝටි දහසක ස්ථාවර ගිණුමක් ඇතත් 2019 වසරේ සිට මේ දක්වා විශ්‍රාම ගිය කිසිදු සංස්ථා සේවකයකුට ප්‍රතිලාභ ගෙවා නැතැයි එම සේවකයෝ පවසති.
සංස්ථා සේවකයන්ගේ වැටුපෙන් අඩුකර ගන්නා 1.5%කට සංස්ථාවද 1.5%ක් එක්කර එක් සේවකයකු වෙනුවෙන් 3%ක් මෙම සමිතියට බැර කරන බව පවසන සේවකයන් එසේ අයකර ගත් රුපියල් කෝටි 1000ක ස්ථාවර ගිණුමක් රාජ්‍ය බැංකු දෙකක පවත්වාගෙන යන බවද කියති.
සේවකයෙක් විශ්‍රාම යද්දි මෙම අරමුදල මගින් විශේෂ දීමනාවක් ලබාදෙන මුත් 2019 සිට මෙතෙක් විශ්‍රාම ගිය කිසිවකුට එම දීමනාව ගෙවා නැත.
2019 වසරේ සිට සේවයේ යෙදී සිටියදී සංස්ථා සේවකයන් 11 දෙනෙකු මියගොස් ඇති අතර 225ක් විශ්‍රාම ලබා ඇත. මේ අය වෙනුවෙන් මෙතෙක් සකසුරුවම් සමිතියෙන් සත පහක්වත් ගෙවා නැතැයි සේවකයෝ පවසති. මෙම සකසුරුවම් සමිතියේ සභාපති ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා නිල බලයෙන් පත්වේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අප ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ කළද එය ව්‍යර්ථ විය. ඒ වෙනුවෙන් සංස්ථාවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී බී.ඒ. ධර්මප්‍රිය ‘අරුණ’ට ප්‍රකාශ කළේ මෙම ගෙවීම් කිරීම සඳහා 2020 වසර වන විට අවශ්‍ය ප්‍රතිපාදන සමිතියේ නොතිබූ බවය. විශාල පිරිසකට එකවර ගෙවීම් කළහොත් ආයතනය කඩා වැටීමකට ලක්විය හැකි බවද කී හෙතෙම මේ වන විට එම මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පැවැසුවේය.
අජිත් අලහකෝන්