News

තෙල් සේවකයින් හතළිහකට ලොතරැයියක්

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ආයතනයේ ගිණුම් අංශයට සුදුසුකම් ලත් නිලධාරින් සිටියදී පුද්ගලයකු පිටතින් බඳවා ගැනීම නිසා ඉන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් කම්කරු විනිශ්චය සභාවේ පැවරූ නඩුවකින් පසු හතළිස් දෙනකුට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවන ලෙසට නියෝග කර ඇත. එම පුද්ගලයා බඳවාගෙන ඇත්තේ ඒ -5 ශ්‍රේණිය සඳහාය.

අදාළ තනතුරට සුදුසුකම් සපිරූ හතළිස් දෙනකු සිටියදී පිටතින් පුද්ගලයකු බඳවා ගැනීම නිසා එම පිරිස් නඩුව පවරා තිබේ.

අලුතින් බඳවාගත් නිලධාරියාට වැටුප් වර්ධක දොළහක් ලබා දී එම තනතුරට පත්කර ඇත. එමගින් අමතරව රුපියල් හයදහසක ගෙවීමක් අහිමි වී ඇති බව අසාධාරණයට ලක් වූ සේවකයන් පවසා ඇත.

ඒ අනුව මසකට රුපියල් හයදහස බැගින් වසර තුනයි, මාස තුනක් සඳහා එම මුදලේ එකතුව එක් අයකුට රුපියල් දෙලක්ෂ තිස්හතරදහසකි. හතළිස් දෙනාටම ගෙවන ලෙසට කම්කරු විනිශ්චය සභාව නියෝග කර තිබේ. එම වන්දිය මාස තුනක් ඇතුළත ගෙවන ලෙසටද නියෝග කර ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා