News

දරුණු අපරාධකරුවන් බූස්සට හා අඟුණකොළට

බන්ධනාගාර කේන්ද්‍ර කරගෙන සිදුවන මත්ද්‍රව්‍ය ජාලය හා පාතාල ක්‍රියා මැඬපැවැත්වීමට දරුණු ගණයේ අපරාධකරුවන් සියලු දෙනා බූස්ස හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා ඒවායේම පිහිටුවන නව අධිකරණ තුළ නඩු ඇසීමට රජය තීරණය කර ඇත.

මෙම විශේෂ සිරමැදිරි තුළදී කිසිදු ජංගම දුරකථනයක් භාවිත කළ නොහැකි අයුරින් රුපියල් ලක්ෂ පහක වියදමින් දුරකථන සංඥාවලට බාධා කරන ජැමර් යන්ත්‍ර දෙකක් සවි කිරීමටද අනුමැතිය හිමිවී ඇත.

එම බන්ධනාගාර තුළ සිට කොළඹට නඩු ඇසීමට විශේෂ ගණයේ සිරකරුවන් රැගෙන ඒමේදී විශේෂ ආරක්ෂාව සැපයීම ඇතුළු අනවශ්‍ය වියදම් කපාහැරීමටත් ඒ වෙනුවට අධිකරණ සේවයේ පුරප්පාඩු පුරවා විශේෂ අධිකරණ පිහිටුවීමටත් තීරණය වී ඇත.

මේ සම්බන්ධව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා අධිකරණ සේවා කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර විනිසුරුවන් විස්සක පුරප්පාඩු ඇති බව එහිදී හෙළිවී ඇත.

එහිදී බන්ධනාගාරවල පාතාල නඩු අසන අධිකරණවලට යාමට විනිසුරුවන්ගේ අකමැත්ත පළ වීම ගැන ඇමැතිවරයා සිය විරෝධය පළකර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ මෙන් පාතාල නඩු අසන අධිකරණ ස්ථාපිත කර දුරකථනවලින් තොර සිර ගෙවල් බවට පත්කිරීම මෙම නව වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා